‘අපි කිසිම වැරැද්දක් කළේ නැහැ – අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා’
- RSL
- November 1, 2020
- පුවත් සහ වාර්තා, විශේෂාංග
- featured
- 0 Comments
ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි.

පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා.
සමාජමාධ්‍යවල වෛරස් වූ ඡායාරූපවල දැක්වෙන්නේ සුදු සිල්ක් සළුවකින් සිය නිරුවත වසා ගත් තරුණ යුවළක් ( ලක්ෂි සහ භාෂි කාර්තික් Lekshmi and Hrushi Karthik ) තේ වත්තක ගත් සරාගී ඡායාරූප කිහිපයකි.
පසුගිය සැප්තැම්බරයේ විවාහ වූ මෙම යුවළ පවසන්නේ විවාහයෙන් පසු ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් ගෙන එය සදානුස්මරණය කිරීම තම අරමුණ වූ බවයි.
මේ සම්බන්ධයෙන් බී.බී.සී ඉන්දීය වාර්තාකරුට දුරකථනයෙන් ඇමතූ ලක්ෂ්මි කියා සිටියේ,
“මගේ මාපියන් තමයි මට හාෂිව හදුන්වා දුන්නේ. පසුව අපි ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා.”
හර්ෂි ටෙලිකොම් සමාගමක සේවය කරන අතර ලෙක්ෂ්මි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කර ඇත.
මෙම යුවළ පසුගිය අප්‍රේල් මාසයේ දී අලංකාර මංගල උත්සවයක් ගැනීමට සැලසුම් කර තිබුණද කොවිඩ්-19 වසංගතය නිසා එය අවලංගු කිරීමට සිදුවිය.
මාර්තු අග දී ඉන්දියාව රට පුරා දැඩි අගුලු දැමීමක් ක්‍රියාත්මක කළ අතර කොවිඩ්-19 වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සියලු රැස්වීම් සහ උත්සව තහනම් කළේය. අගුළු ඇරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ පසු, කුඩා මංගල උත්සව සඳහා ද අවසර දෙන ලදී.

තවදුරටත් බලා සිටීමට අකමැති වූ හර්ෂි සහ ලෙක්ෂ්මි පසුගිය සැප්තැම්බර් 16 වන දින ඇගේ උපන් ගම වන කෝලම්හිදී විවාහ වූහ.
“එය ප්‍රීතිමත් සහ විනෝදජනක විවාහ මංගල්‍යයක්. නමුත් එයට සහභාගී වූයේ අපේ පවුලේ අය සහ කිට්ටු මිතුරන් කිහිපදෙනෙක් පමණයි. පොලිසිය අපට අවසර දුන්නේ අමුත්තන් 50 දෙනෙකුට පමණයි. බොහෝ සීමාවන් තිබුණා.”
තම ආදරණීය සම්බන්ධය තවත් නැවුම්කර ගැනීම සඳහා, යුවළ “අමතක නොවන‘ (Memorable) ඡායාරූප රූගත කිරීමක් කිරීමට තීරණය කළහ.
කේරළයේ සහ ඉන්දියාවේ වෙනත් බොහෝ ප්‍රදේශවල බොහෝ යුවළයන් තම විවාහ මංගල්‍යය ලොවට ප්‍රකාශයට පත් කිරීම සඳහා සාම්ප්‍රදායික ඡායාරූප රූගත කිරීම් විස්තීර්ණ ඒවා වෙනුවට ආදේශ කර ඇති නමුත් හාෂිට සහ ලක්ෂ්මීට එවැනි සාම්ප්‍රදායික ඡායාරූප එකතුවක් අවශ්‍ය නොවීය.
ඔවුන්ගේ පශ්චාත්-විවාහ ඡායාරූප ගත කිරීම “ආදර හා සමීප- Romantic and intimate” එකක් වීමට හෘෂිට අවශ්‍ය වූ හෙයින්, ඔහු අන්තර්ජාලය හරහා ගමන් කර “සිය පරිපූර්ණ අදහස” ඉදිරිපත් කළේය.
අවසානයේ මෙම අසිරිමත් අවස්ථාව ඡායාරූප ගත කිරීම හාෂිගේ මිතුරෙකු වූ අඛිල් කාර්තික්යන්ට පැවරැණේය.
‘මේ සදහා පැය කිහිපයක් ගත වුණා. පසුබිම වශයෙන් ඔවුන් නැවතී සිටි හෝටල් කාමරය සහ හෝටලය පිහිටි තේ වත්ත යොදා ගත්තා‘ අඛිල් පැවසුවේය.
“ඒක හරිම විනෝදජනකයි. අපි ඒ ගැන හිනා වුණා. අපි ඒ ගැන ඇත්තටම සතුටු වුණා. එය අපේ මධුසමය ගත කිරීමේ කොටසක්. අපි විවාහ වී සිටි නිසා අපට නිදහස් බවක් දැනුණා” යැයි ලෙක්ෂ්මි පවසයි.

දින කිහිපයකට පසු අඛිල් ෆේස්බුක් හි ඡායාරූප උඩුගත (Uploaded) කිරීමෙන් පසු අනපේක්ෂිත ලෙස කරදර ආරම්භ විය.
ඇතැමුන් මෙම ඡායාරූප විස්තර කර ඇත්තේ ‘කැත, අසභ්‍ය සහ ලැජ්ජා සහගත ඒවා‘ ලෙසය.
සමහරු කියා සිටියේ ඒවා කාමුක දර්ශන සහ කොන්ඩම් වෙළඳ දැන්වීමකට සුදුසු බවයි.
සමහරු ඔවුන්ට කාමරයක් ලබා ගැනීමට උපදෙස් දුන්හ.
“අපට දින කිහිපයක් තිස්සේ දැඩි නින්දා අපහාසවලට ලක්වීමට සිදු වුණා” ලෙක්ෂ්මි පවසයි.
“මිනිස්සු කිව්වා අපි නිරුවත පෙන්වනවා කියලා, ඔවුන් ඇහුවා අපි යට ඇඳුම් ඇඳගෙනද ඉන්නේ කියලා. ඔවුන් කිව්වේ අපි ඒක කරන්නේ අවධානයක් සහ ප්‍රසිද්ධියක් ලබාගන්න කියලා”
බොහෝ අපහාස සහ අසභ්‍ය කතා තමා වෙත එල්ල වූ බව ලෙක්ෂ්මි පවසයි.
“එය ඇත්තෙන්ම භයානකයි. ඔවුන් භාෂිට වඩා මට හිරිහැර කළා. ඔවුන් මට කිව්වේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන්න කියලයි.
“සමාජ මාධ්‍ය හරහා මේ ආකාරයෙන් මට අපහාස කළ අය අතර කාන්තාවන් විශාල පිරිසක් සිටියා. ඔවුන් මා කලින් වේශ නිරූපණය නොකළ මගේ ඡායාරූප සොයාගෙන සංසන්දනය කිරීමට පටන් ගත්තා‘
‘මෙම ඡායාරූපවල ඇය කෙතරම් අවලස්සනදැයි බලන්න කියලා ඔවුන් කිව්වා”

නමුත් දින කිහිපයකට පසු තත්ත්වය ධනාත්මක විය. බොහෝ දෙනෙක් අපහාස උපහාස කතා කරමින් අසභ්‍ය කතා කී පුද්ගලයින්ට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තේය. භාෂිට සහ ලක්ෂ්මීට සහයෝගය දැක්වීමට පටන් ගත්හ.
බොහෝ අය ඡායාරූප විස්මයජනක හා ලස්සන ලෙස විස්තර කළ අතර විවේචනාත්මක අදහස් නොසලකා හරින ලෙස යුවළට උපදෙස් දුන්හ.
එක් කාන්තාවක් පැවසුවේ ‘විවාහක යුවළක් අත් අල්ලාගෙන සිටීම ගැන ලැජ්ජාවට පත් වූ කාලයක් තමාට මතක ඇති බවත් විවේචන නොසලකා හරිමින් සතුටින් සිටින ලෙස කාර්තික්වරුන්ට උපදෙස් දුන් බවත්ය
“අපව විවේචනය කළ අය කවුරුන්දැයි අපි දන්නේ නැහැ. ඒ වගේම අප වෙනුවෙන් කතා කරන පුද්ගලයින් ද අපි දන්නේ නැහැ. නමුත් එය අපට මහත් සතුටක් ගෙන දුන්නා” යනුවෙන් ලෙක්ෂ්මි පවසයි.
එය හුදෙක් නොදන්නා සමාජ මාධ්‍ය විවේචකයින් පමණක් නොව, ඡායාරූප රූගත කිරීම අනුමත නොකළ සාම්ප්‍රදායික අදහස් දරන ඥාතීන් සමඟ ද ගැටීමට යුවළට සිදුවිය.
“මුලදී, අපේ දෙමව්පියන් ද කම්පනයට පත් වුණා. නමුත් අපට එය කිරීමට අවශ්‍ය වූයේ මන්දැයි අපි ඔවුන්ට පැහැදිලි කළා. ඔවුන් එය තේරුම් ගත්තා. නමුත් අපේ ඥාතීන් බොහෝ දෙනෙක් අපට චෝදනා කළහ,” ලෙක්ෂ්මි පවසයි.

“ඔවුන් අපට දුරකථනය මගින් කතා කරමින් මෙවැනි වැඩක් කිරීමේ අරමුණ කුමක් දැයි ප්‍රශ්න කළා. අපේ සංස්කෘතිය අමතක දැයි ප්‍රශ්න කළා”
ඡායාරූප ඉවත් කරන ලෙස බොහෝ දෙනෙක් ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර, ලෙක්ෂ්මි සහ හෘෂි පවුලේ වට්ස්ඇප් කණ්ඩායම් වලින් ඉවත් කරන ලදී.
නමුත් යුවළ පවසන්නේ ඔවුන් පින්තූර ඉවත් නොකරන බවට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
“අප එසේ කළහොත්, එය අපි අපේ වරද පිළිගැනීමක් ලෙස සලකාවි. අපි කිසිම වැරැද්දක් කරලා නැහැ. ඒ නිසා අපි ඒවා ඉවත් කරගන්නේ නැහැ” යනුවෙන් ලෙක්ෂ්මි පවසයි.
” ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි.
ඇය පවසන්නේ, “මුල් දින කිහිපයේදී විවේචන සමඟ කටයුතු කිරීම අපට අපහසු වූ නමුත් දැන් අපි එයට පුරුදු වී සිටින්නේ. සමාජය එසේ බව අපි දන්නවා. ඔවුන් සමඟ ජීවත් වීමට අපි ඉගෙන ගත්තා‘
2020 නොවැම්බර් 01 වැනි දින බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

