ස්වාධීන කොමිෂන් සභා ‘NGO බළල් අත්’ කියන කතාව ඇත්තක්ද ?

Spread the love

කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

සටහන – නීතිඥ ජගත් ලියන ආරච්චි

19 වන සංශෝධනය මේ වන විට වඩාත් කථාබහට ලක්වී ඇති මාතෘකාවකි. 19 වන සංශෝධනය ඉවත් කල යුතු බවද එය සංශෝධනය කල යුතු බවද මේ වන විට බොහෝ දෙනෙක් කථා කරති.

19 වන සංශෝධනය සම්බන්ධයෙන් චෝදනා කරන ඇතැමෙක් පවසන්නේ මෙම සංශෝධනය මගින් ඇතිකරන ලද කොමිෂන් සභාවල කොමසාරිස්වරුන් ලෙස පත්ව ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන (NGO ක්‍රියාකාරීන්) බැවින් ජනාධිපතිට සහ අගමැති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට සිය කටයුතු ඉටුකිරීමට බාධාවක් වන බවයි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩු පාඩු පවතින නමුත් ස්වාධීන කොමිෂන් සභාවල ඉන්නා රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන් රජයේ ක‍්‍රියාකාරකම්වලට බාධා කරන බව ඉතාමත් අසත්‍ය කරුණකි. මේ බව ශිර්ෂ කිහිපයක් ඔස්සේ සනාථ කල හැකිය. එනම්,

  1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.
  2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය
  3. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ
    අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන මගින්
  4. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

1. ස්වාධින කොමිෂන් සභාවලට පත්වී ඇති සාමාජිකයන්ගේ නාමලේඛනය පරීක්‍ෂා කිරීම.

ස්වාධින කොමිෂන් සභා යනුවෙන් නිශ්චිතව දක්වන කොමිෂන් සභා අප නීති පද්ධතිය තුල දක්නට නොලැබෙන නමුත් ජනමාධ්‍ය සහ සිවිල් සමාජය මෙන්ම ව්‍යවස්ථාදායකයද ස්වාධින කොමිෂන් සභා ලෙස හදුන්වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වන කොමිෂන් සභා 10වේ. ඒවානම්

1. මැතිවරණ කොමිෂන් සභාව;
2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව;
3 ජාතික පොලිස් කොමිෂන් සභාව;
4. විගණන සේවා කොමිෂන් සභාව;
5. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව;
6. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව;
7. මුදල් කොමිෂන් සභාව;
8. සීමා නිර්ණය කොමිෂන් සභාව;
9. ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව.
10. අධිකරණ සේවා කොමිෂන් සභාව

මෙම කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බලන විට පැහැදිලි වන්නේ සාමජිකයින් 47 දෙනෙකු මෙම කොමිෂන් සභාවන්හි සාමජිකත්වය දරන බවයි. (මෑතකදි ඉල්ලා අස්වූ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය සහ සාමාජිකාවත් සමග) මෙම සාමාජික නාමලේඛණය පරීක්‍ෂා කරන විට පෙනී යන්නේ එකී 47 දෙනා අතරින් රාජ්‍ය නොවන සංවිධනා ක‍්‍රියාකාරීණියක් වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සිටින එක් සාමාජිකාවක් පමණක් බවයි. අනෙක් සියලූ දෙනා විශ‍්‍රාමික විනිසුරුවරුන්. විශ‍්‍රාමික රාජ්‍ය පරිපාලන සේවයෙන් නිලධාරීන්. විශ‍්‍රාමික පොලිස් නිළධාරීන්. වෘත්තිකයන්. විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින් ආදීන්ගෙන් සමන්විත බවය. මේ අතරින් අති බහුතරය විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරීන්ය. එබැවින් කොමිෂන් සභාවල වර්ථමාන සංයුතිය පිලිබදව සලකා බැලීමේදී රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්වීම 47කට 1ක් බව පැහැදිලිය.

2. ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ ව්‍යුහය

ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයින් නිර්දේශ කරනු ලබන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නැමති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාපිත ආයතනය මගිනි. මෙහි සාමජිකයින් ගනන 10කි. එම 10 අතරින් නිළ වශයෙන් පත්වන සාමාජිකයින් ගනන 3කි.

එනම් කථානායකවරයා, අගමැතිවරයා, විපක්‍ෂනායකවරයයි, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු, අගමැති සහ විපක්‍ෂනායක විසින් යොජ්නා කරනු ලබන ජනාධිපතිවිසින් පන්කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු, අගමැතිවරයා සහ විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ අගමැති සහ ජනාධිපති විසින් යෝජනාකරනු ලබන සහ ජනාධිපතිවිසින් පත්කරනු ලබන දේශපාලන පක්‍ෂවල සමාජිකත්යය නොදරන විශිෂ්ඨත්වයට පත් පුද්ගලයන් තිදෙනෙක් වශයෙනි.

මේ අනුව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් 10 දෙනා අතරින් 7 දෙනෙකුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වේ. එසේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාවද තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අගමැති සහ විපක්‍ෂ නායකය. එසේම ඔවුන් තිදෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරණයේදී සමස්ථ ඡුන්ද ප‍්‍රමාණයෙන් සියයට පනහකට වඩා වැඩියෙන් ලබාගත් ජනාධිපති විසිනි. එබැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් නොවන තිදෙනා නම්කිරීම සහ පත්කිරීම සිදුකරන්නේ මහජන නියෝජිතයින් තිදෙනෙකු විසිනි.

ඒ අනුව උපරිම වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවට පත්විය හැකි රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් ගනන තිදෙනෙකු වන අතර ඔවුන්ද මහජන නියෝජිතයින්ගේ කැමැත්ත මත පත්වන පුද්ගලයන්ය. මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුල සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නොවන තිදෙනාගෙන් එක් අයකු පමණක් රාජ්‍ය නොවන සංවිධානවල නිළතල දරණ අතර අනෙක් දෙදෙනාගෙන් එක් අයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශ‍්‍රාම ලැබූවකු වන අතර අනෙක් තැනැත්තා විශ‍්‍රාමික විශ්ව විද්‍යාල ජ්‍යොෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

මේ අනුව කොමිෂන් සභාව සදහා සාමාජිකයින් නිර්දේශ කරනු ලබන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතිය අනුවද රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ගේ සංයුතිය 10ට එකකි.

2. ස්වාධින කොමිෂන් සභාවල සාමාජිකයින්ගේ සුදුසුකම් පිලිබදව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ අදාල පාර්ලිමේන්තු පනත්වල පවතින ප‍්‍රතිපාදන

  1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය (සභාපතිවරයා නිලබලයෙන් අගවිනිසුරුය)
  2. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතරින් එක් අයෙකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ධූරයට ඉහල ධුරයක් දැරූ විශ‍්‍රාමික නිළධාරියකු විය යුතු අතර අනෙක් දෙදෙනා වෘත්තීන් හි හෝ පරිපාලන හෝ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල හෝ, විශිෂ්ටතා හිමිකරගෙන සිටින තැනැත්තන් විය යුතුය.
  3. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 9ක් වන අතඑ එම සාමාජිකයන් අතුරෙන් සාමාජිකයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් රජයේ නිලධරයන් වශයෙන් අවුරුදු පහළොවකට වැඩි පළපුරුද්දක් ඇති තැනැත්තන් විය යුතුය.
  4. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව විගනන සේවා කොමිෂන් සභාවේ සභාපති නිළ බලයෙන් විගනකාධිපති වන අතර අනෙකුත් සාමාජිකයින් විය යුත්තේ විශ‍්‍රාමික නියෝජ්‍ය විගනකාධිපතිවරුන්, විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ විශ‍්‍රාමික පරිපාලන සේවයේ 1 වන පංතියේ නිළධරයකුය.
  5. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මහබැංකුවේ අධිපති සහ භාණ්ඩාගාර ලේකම් මුදල් කොමිෂන් සභාවේ නිළබලයෙන් සාමාජිකයින් වන අතර එයට අමතරව මූල්‍ය. නීතිය,පරිපාලන,ව්‍යාපාර හෝ ශ‍්‍රාස්ත‍්‍රීය ක්‍ෂෙත‍්‍රවල කැපීපෙනෙන පුද්ගලයන්ය. මෙම තිදෙනා ජනවර්ග තුනම නියෝජනය වන පරිදී තෝරාගත යුතුය.
  6. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 7කි. ඉන් එක් සාමාජිකයකු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු හෝ ඊට ඉහල ධූරයක් දැරූ අයෙකු විය යුතුය. අනෙක් සාමාජිකයින් හය දෙනා පිළිබදව නිශ්චිත සදහනක් නැත. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් නිර්දේශ කිරීමේදී රාජ්‍ය සේවා කොමිසන් සභාව විමසා කල හැකි බව දැක්වේ.
  7. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයින් ගනන 5කි යටත් පිරිසෙයින් එයින් සාමාජිකයන් තිදෙනෙකු ප‍්‍රසම්පාදනය, ගණකාධිකරණය, නීතිය හෝ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පිළිගත් අත්දැකීම් සහිත තැනැත්තන් විය යුතු ය.
  8. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව දේශපාලන කටයුතුවල නිරතව නොසිටින්නා වූ තැනැත්තන් තුන් දෙනකු ගෙන් සීමා නිර්ණය කොමිෂන් සභාව සමන්විත විය යුත්තේ ය.
  9. ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතට අනුව මානව හිමිකම්වලට අදාල කාරණා සම්බන්ධයෙන් දැනුමක් හෝ ප‍්‍රායෝගික පළපුරුද්දක් ඇත්තා වූ තැනැත්තන් වීම කොමිෂන් සභාවේ සාමාජිකයකු වීමේ සුදුසුකමක් ලෙස දක්වා තිබෙනවා.
  10. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පතනට අනුව අල්ලස් කොමිෂන් සභාවේ සාමාජිකයන් ගනන තුනකි. එයින් දෙදෙනෙකු විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන් විය යුතු අතර අනෙක් තැනැත්තා නීතිය ක‍්‍රියාත්මක කිරීමට අදාලව පුලූල් පළපුරුද්දක් ඇති තැනැත්තෙකු විය යුතුය.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී සහ ශ‍්‍රි ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවල විෂය පථය සහ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේදී ඉහත කී කොමිෂන් සභා අතරින් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්ට සාමාජිකත්වය දැරීමට අවස්ථාව ඇත්තේ ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පමණක් බව පෙනී යයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවේ ඇතැම් සාමාජිකත්වයන් පිළිබදව පවතින විවෘතභාවය නිසා ඒකී කොමිෂන් සභාවල යම් ඉඩක් පැවතියද ප‍්‍රායොගිකව එම කොමිෂන් සභාවල රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරින් සාමාජිකත්වයන් දරා නොමැත. ඒ අනුව මෙම චෝදනාව පදනම් විරහිතය.

ස්වාධින කොමිෂන් සභා සර්ව සම්පූර්ණයැයි මා අදහස් නොකරමි. නීතිමය ප‍්‍රතිපාදන තුලද පටිපාටිමය කාරනා තුලද ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වය තුලද ගැටලූ පවතී. ඒ ගැටලූ විසදාගත යුතුය. කෙසේ නමුත් රාජ්‍ය සේවය අධිකරණය පොලිසිය විගනනය මැතිවරණ ක‍්‍රියාවලිය ස්වාධින කිරීම සදහා ස්වාධින කොමිෂන් සභා මගින් සිදුවන මෙහෙය අවතක්සේරු නොකල යුතුය.

නීතිඥ ජගත් ලියන ආරච්චි

RSL

Related Posts