සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් දේශපාලනීකරණයෙන් මුදා ගත යුතුයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

Spread the love

ගෙවී ගිය වසර පහ තුළ දැඩි ලෙස දේශපාලනීකරණයට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය කඩිනමින් ඉන් මුදා ගනිමින් එහි සැබෑ අරමුණු කරා ළගා කරවීම රජයේ අපේක්ෂාව බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී ඔවුන්ගේ දරීද්‍රතා මට්ටම නොව, සහය දක්වන දේශපාලන පක්ෂය සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකමක් වූ යුගය අවසන් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට සපැමිණීම වෙනුවෙන් ඊයේ (25) බත්තරමුල්ල සෙත්සිරිපායේ සිව් වැනි මහලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවය අමතමිනි.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ බන්ධුල තිලකසිරි මහතා ඇතුළු ඉහළ නිලධාරීන් විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබීය.

උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය –

සමෘද්ධි ව්‍යාපාරය යනු එක් රාත්‍රියක දී දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000ම එක් වර ආමන්ත්‍රණය කළ හැකි ශක්තිමත් ව්‍යුහයකි. ලක්ෂ 18ක් පමණ වන සමෘද්ධි ප්‍රතිලාභීන් සේම එම දෙපාර්තමේන්තු සේවක සේවිකාවන් එම ශක්තිමත් ව්‍යුහය පවත්වාගෙන යාම සඳහා දක්වන දායකත්ව අගය කළ යුතු ය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව දිළිඳු බව පිටු දැකීමේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපාර සුවිශේෂී දායකත්වයක් දැක් විය යුතුය.

සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු වෙනුවෙන් නිලධාරීන් ලෙස සද්භාවයෙන් ඔබ ගන්නා සෑම තීරණයක් සමග ම දේශපාලන අධිකාරිය ලෙස අප සිට ගන්නා බව සඳහන් කළ යුතු ය. මීට පෙර පැවැති ආණ්ඩුව මගින් නිලධාරීන් හුදෙකලා කළ අවස්ථා, අධිකරණය හමුවට, මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පමුණුවනු ලැබූ අවස්ථා පිළිබඳ අත්දැකීම් රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබට අමතක නැත.

සමෘද්ධි ප්‍රතිලාභියකු බවට පත් වීමේ සුදුසුකම දිළිඳු බව නොව දේශපාලන පක්ෂයකට සහය දැක්වීම යන්න අප වෙනස් කළ යුතුව ඇත. එමගින් සිදුව ඇත්තේ දිවයින පුරා විසිරී ඇති මෙවැනි දැවැන්ත ව්‍යාපාරයක් ව්‍යාකූලත්වයට පත්වීමයි. එබැවින් කඩිනමින් මෙම තත්ත්වයෙන් සමෘද්ධි ව්‍යාපාරය මුදා ගැනීමට සඳහා කටයුතු කළ යුතුව තිබේ.

ගම්බද දිළිදු ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදා ගැනීම සඳහා ද සමෘද්ධි බැංකු පද්ධතිය දායක කර ගත හැකි ය. මේ සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය සමග ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වැදගත් වේ.

2021 වසර සඳහා වූ අයවැය ලේඛණය මේ වන විට සකස් වෙමින් පවතින අතර එය මෙරට ආර්ථිකය පරිවර්තනයකට ලක් කරන සුවිශේෂී එකක් වනු නොඅනුමානය.

උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවකට ද සහභාගී විය.

RSL

Related Posts