සජිත් නිවාස අමාත්‍යාංශයේ කළ කෙළි එළියට

Spread the love

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය හා විෂය භාර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28)  දින පැවසීය.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නාගරික ප්‍රදේශවල  ජනතාවට පදිංචිවීමට වෙන්කර තිබෙන නේවාසික ප්‍රදේශ කිසිවෙකුගේ බලපෑමකට ලක වී ව්‍යාපාරික ස්ථාන සඳහා වෙන් නොකිරීමට වගබලා ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මුහුදට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස, ගංගාවන්වලට කැළි කසළ එක්වීම වැළැක්වීමේ වැ‍ඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තරගකාරී බවින් යුතුව පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යපෘති සඳහා යොමුවීමේ වැදගත්කම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී පෙන්වා දුන්නේය.

පසුගිය ආණ්ඩුව අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව සොයා බලා ඒවා ජනතාව වෙනුවෙන් අවසන් කරන්නැයි නියෝග කළ අග්‍රාමාත්‍යවරයා ඇතැම් නිවාස ව්‍යාපෘති කිසිඳු වගකීමකින් තොරව අලි වැට ඇතුළත පවා ඉදි කර තිබීම ගැන විමතිය පළ කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඉදිරි මාස 04 තුළ රුපියල් බිලියන 28 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගිය ආණ්ඩු සමයේ අවිධිමත්ව කළ පත්වීම් සහ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාඩු ලබන ආයතන බවට පත් වූ  සියලු ආයතන ලබන දෙසැම්බර් 31 වනදාට පෙර ලාභ ලබන ආයතන බවට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විශ්වාසය පළ කළේය.

රාජ්‍ය ඉඩම් සංස්ථාවේ මාසික ආදායම රුපියල් මිලියන 90ක් වුව ද, පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ අවිධිමත් පත්වීම් නිසා එහි මාසික වියදම රුපියල් මිලියන 166ක් තරම් ඉහළ අගයක් ගෙන ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවිය.

ඉදිරියේදී ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් කොළඹ, මහනුවර, අනුරාධපුර, මාතර, කුරුණෑගල නගරවල රථ ගාල් ඉදි කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

පළාත් පාලන ආයතන විසින් මේ වන විට එකතු කරන කැළි කසළ බැහැර කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා එම වගකීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර ඇති බව සිහිපත් කළේය.

අඩු ආදායම්ලාභී, පහළ ආදායම්ලාභී, මධ්‍යම ප්‍රාන්තික, ඉහළ ආදායම්ලාභී හා රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පැල්පත් නිවාස ලාභීන්ට නොමිලේ ලබාදීමට තට්ටු නිවාස 1400ක් අලුතින් ඉදි කර ඇති අතර එම පැල්පත් නිවාස පැවති ස්ථානවලද නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රසාද් රණවීර මහතා කීවේය.

මෙයට අමතරව මධ්‍යම ප්‍රාන්තික නිවාස 608ක් රජයේ සේවකයින් වෙනුවෙන් ඉදි කර ඇති අතර තවත් නිවාස 800ක් රජයේ සේවකයින් වෙනුවෙන් 2021 වර්ෂයේදී ඉදි කර අවසන් කිරීමට නියමිතය.

මෙම නිවාස ව්‍යාපෘතිවලට අමතරව ඕනෑම පුද්ගලයෙකුට අයදුම් කොට මිලදී ලබා ගත හැකි නිවාස 3300ක් ව්‍යාපෘති 10ක් යටතේ ඉදිරියේදී ඉදි කෙරෙන බව ප්‍රසාද් රණවීර මහතා කියා සිටියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට නිවාස 8701ක් ඉදි කර තිබෙන  බවත්, ලබන වසර තුළ නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් බිලියන 6ක ආදායමක් බලාපොරොත්තු වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.

“සෙවණ“ නිවාස අරමුදල පසුගිය ආණ්ඩු සමයේ අවභාවිත කිරීම නිසා එම මුදල් නිවාස ඉදි කිරීමට පරිභාහිර කටයුතුවලට යොදා ගෙන ඇතැයි හෙළි වූ බව රේණුක පෙරේරා මහතා කියා සිටියේය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍ර කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුතකම්  රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක්  එක්ව සිටියහ.

RSL

Related Posts