කොරෝනා වෛරසය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කර ගැනීමට සමත්වී සිටීම හේතුවෙන් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදුකළ හැකි වාතාවරණයක් තවමත් නිර්මාණය නොවී තිබීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ දෙරට අතර තරගාවලිය සඳහා ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබිණ. කෙසේ වෙතත් අදාළ තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් වශයෙන් නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි දෙවැනි කඳවුර ඉකුත් සඳුදා දින මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණ.
ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ සිව්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය. මෙම තරගාවලියට ප්‍රථම ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ආපසු සිය රට බලා පිටත්ව ගිය අතර අනතුරුව දකුණු අප්‍රිකාව සහ ඉන්දීය කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාරද කල් දැමීමට පියවර ගනු ලැබීය.