විරෝධතා රැසක් සමග ‘සමගි ජන බලවේගයත්’ මහින්දගේ මැයි 04 හමුව ප්‍රතික්ෂේප කරයි

Spread the love

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාටම මැයි  4 වැනි දා අරලිය ගහ මන්දිරයට පැමිණෙන්නට  සිදු කළ ආරාධනය  සමගි ජන බලවේගය විසින්  ප්‍රතික්ෂේප කරන බව සදහන් කරමින් එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

සමගි ජන බලවේගය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

 විපක්ෂය වගකීමෙන් හැසිරුණා 

කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර ගැන අප වගකිව යුතු විපක්ෂයක් ලෙස මුල සිටම වඩාත් විමසිලිමත් වූ අතර ජනවාරි 24 සහ පෙබරවාරි 25  දෙවරක්ම පාර්ලිමේන්තුවේදී රටේ අවධානය යොමුකරන ලදි. නමුත්  ඒ  වන විටත් ආණ්ඩුව සිටියේ වගකීම් විරහිත ස්වභාවයෙනි.

එමෙන්ම සම්ප්‍රදායික විපක්ෂයක් ලෙස නොව වගකීම් සහගත සහ මිනිස් ජීවිතවල වටිනාකම දන්නා විපක්ෂයක් ලෙස අපි දිගටම කටයුතු කළෙමු.

ව්‍යසනය උත්සන්න වූ පසු අවස්‍ථා දෙකකදී  අගමැතිවරයා විසින් පක්ෂ නායකයන් කැඳවා කොරෝනා උවදුරින් රට ගලවාගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කරනු ලැබූ අතර ඒ අවස්‍ථා දෙකේදීම අපි ඊට සහභාගී වීමු.  මේ ව්‍යසනය දුරු කිරීම උදෙසා වගකීම්සහගතව අප කටයුතු කළ අතර විපතට පත්වූවන්ට සහන ලබා දීම, රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස යොදා ගැනීම හා ආපදා කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රණය නිසි ලෙස  ක්‍රියාත්මක කිරීම, සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකිරීම, PCR පරීක්ෂණ කඩිනම් කිරීම හා විධිමත් කිරීම, කොරෝනා මර්ධන කාර්‍යමණ්ඩල සඳහා සෞඛ්‍යමය  පෞද්ගලික ආරක්ෂණ මෙවලම් Personal Protective Equipment (PPE) ලබා දීම ආදිය ගැනද ආණ්ඩුවට යෝජනා කළෙමු. එහෙත් ඒ අදහස් සහ යෝජනා කිසිවක් පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකිරීම පිළිබඳව අපි කනගාටු වෙමු.

මේ ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතියද අප ඒවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමු.

ආණ්ඩුවේ කෙරුවාව !

සති හයක කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් ඇඳිරිනීතියක් පැනවූවද කොරෝනා මර්ධනය නමැති අත්‍යවශ්‍ය කාරණය හේතුකොටගෙන ඒ පිළිබඳව පවා අපි උපේක්ෂාවෙන් කටයුතු කළෙමු.

නමුත් ආණ්ඩුව බොහෝ විට ඇදිරි නීතිය අවභාවිතා කළ අතර සමාජ ජාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත්, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරික ඇදිරිනීති බලපත්‍ර ලබාදීමටත්, ඇඳිරි නීතියට මුවා වී සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමටත් කටයුතු කළේය.

සති හයක් තිස්සේ ජනතාව අප්‍රමාණ කැපවීමකින් ක්‍රියා කළ අතර සියලු වේදනාවන් සහ පීඩාවන් දරාගෙන කටයුතු කරනු ලැබුවේ මෙම ජාතික ව්‍යසනය මැඩපැවැත්වීමට රජයට හැකිවේය යන දැඩි විශ්වාසයෙනි.

සියලුම රටවල් පහළට  යද්දි ලංකාව ඉහළට ගිය හැටි

එහෙත්, සති හයක කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ජයගෙන ඇති බවක් පෙනෙන්නට තිබේද?

ඇදිරිනීතිය සහිත සති හයක කාලයට පසු සැබෑ ලෙස විය යුතුව තිබුණේ  කොවිඩ් ආසාදිත රේඛාව පහළට යෑමය. එහෙත් වී ඇත්තේ එම රේඛාව ඉහළට යාමය. සෙසු රටවල් බොහොමයක් ඇදිරිනීතිය නොදමා ‘ලොක් ඩවුන්’ ක්‍රමවේදයන්ට අනුව සති කිහිපයකට පසු කොවිඩ් මර්ධන රේඛාව පහළ මට්ටමට ගෙන ආ නමුත් ඇදිරි නීතිය පවා පනවන ලද තත්ත්වයක් තුළ මෙරට කොරෝනා ආසාදන රේඛාව ඉහළට ගමන් කරමින් තිබීම සැලකිල්ලට ගත යුතු බරපතල තත්ත්වයකි.

කොරෝනා මර්ධන ක්‍රියාවලිය තුළ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් බොහොමයකට කොරෝනා ආසාදනය වූ නමුදු ලංකාවේ කොරෝනා ආසාදනය වී ඇත්තේ ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසකටය. මෙයින් ගම්‍ය වන්නේ කොරෝනා මර්ධන ක්‍රියාවලියට ආරක්ෂක හමුදා යොදා ගත්තද ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රමිතියක් සහිත ආරක්ෂිත සෞඛ්‍ය මෙවලම් හෝ වසංගත සම්බන්ධයෙන් පුහුණුව ලබා නොදී එම රණවිරුවන්ගේ  ජීවිත අනතුරේ හෙළා ඇති බවය. 

මේ සියලු තත්ත්වයන් තුළ පවා රට වෙනුවෙන් වූ කාර්‍යභාරය පෙරදැරිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස අප පසුගිය 26 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යවනු ලැබීය.

එම ලිපිය අප විසින් ඉතා සද්භාවයෙන් යුතුව යොමුකළ අතර එහි සැඟවුණු න්‍යායපත්‍රයක් හෝ කිසිදු අසාධාරණ ඉල්ලීමක් තිබුණේ නැත.

එහි අඩංගු වූයේ අප්‍රේල් 30 වෙනිදායින් පසුව නීත්‍යානුකූලව රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්  සහ කොරෝනා මර්ධන අනපනත් සම්මත කිරීම සම්බන්ධයෙන් සහාය ලබාදීම පිළිබඳව ය. 

මේ ව්‍යසනකාරී මොහොතේ ආණ්ඩුව පෙරළා දමනවා වෙනුවට ජන ජීවිත ගොඩනැඟීමට සහ ඔවුනට සහන සැලසීමට අවශ්‍ය නීත්‍යානුකූල සහය කොන්දේසි විරහිතව ආණ්ඩුවට ලබාදීමේ ‘ලිඛිත සහතිකයද’ එම ඒකාබද්ධ ලිපියෙහි තිබිණි .

එහෙත්, ඒ ලිපියට අතිගරු ජනාධිපතිතුමන්ගේ පාර්ශ්වයෙන් කිසිසේත්ම ආචාරශීලී නොවන පිළිතුරක් ඔහුගේ නිලධාරියෙකු හරහා යොමුකොට තිබීම ගැන අපි කනගාටු වෙමු.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට සහාය දීම උදෙසා යවනු ලැබූ හරයාත්මක ලියවිල්ල අවැදගත් සේ සලකා බැහැර කළ බවක් ඔහු විසින් නිලධාරියකු මඟින් එවන ලද ලිපියෙන් ගම්‍ය වෙයි.

ජනාධිපතිගේ හැසිරීම !

මේ ව්‍යසනකාරී මොහොතේ පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල්කරගෙන අප විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වූ ස්වර්ණමය අන්තර්ගතය ඔහු විසින්ම නොසලකා හරින ලද තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (4)  පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 කැදවීමට කටයුතු කර ඇත. 

එහෙත් පාර්ලිමේන්තුව කැදවීම සහ පරණ පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දැඩි ස්ථාවරයක සිටිමින් රජයේ සහ රජයට පක්ෂපාත සියලු මාධ්‍යයයන් යොදාගනිමින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක්ද ලබා දෙන තත්ත්වයක් තුළ අගමැතිවරයා විසින් මන්ත්‍රීවරු 225 කැඳවීමට තීරණය කිරීමේ  රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අපි විමතිය පළ කරමු. 

මෙවන් තත්ත්වයක් තුළ අදාළ හමුවට සහභාගි වීමට අපගේ අදහසක් නැති අතර මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව අප වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරමු. ඒ, රාජ්‍ය මූල්‍ය කටයුතු හා අදාළ නීති සම්මත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බැවිනි.

රංජිත් මද්දුමබණ්ඩාර  මහ ලේකම්  – සමගි ජන බලවේගය  

RSL

Related Posts