විදේශ විනිමය උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන විදේශගත ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ආණ්ඩුවේ නිසි අවධානයක් නැතැයි එතෙර අපි සංවිධානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට චෝදනා කරයි.
අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී සුනිල් හදුන්නෙත්ති මහතා කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය අද (26) මේ මාධ්‍ය හමුව පවත්වන්නේ කොරෝනා වසංගතය නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණදී සිටින ඛේදනීය තත්වය පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරන්නයි.
ශ්‍රී ලංකාවේ පාස්පෝර්ට් එකක් තිබෙන, හැඳුනුම්පතක් තිබෙන විදේශගතව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා එවන පුද්ගලයින්, වෘත්තීය පුහුණුවලට, අධ්‍යාපනය ලැබීමට ගිය පුද්ගලයින් විශාල පිරිසක් පීඩාවට පත්වී සිටිනවා. ආණ්ඩු විසින් වරින්වර රට විරුවන් විදිහට හැඳින්වූ විදේශ රැකියා කරන්නන් ඩොලර් බිලියන 07කට වඩා විදේශ විනිමය ප්‍රමාණයක් ආර්ථිකයට එකතු කරනවා. මේ මුදලින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විතරක් ජීවත් වුණා නොවෙයි. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය බවට පත්වුණේ ඔවුන්.
මේ මොහොතේ රට ඇතුලේ ජීවත්වන අය ගැන සොයා බලනවා වගේම මේ පිරිස ගැනත් සොයා බැලීම රජයේ අත්හළ නොහැකි වගකීමක්. එතෙර අපි සංවිධානය ලෙස ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් හැමදාමත් අපි මැදිහත් වුණා. ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඒ රටේ ජීවත්වෙන්න බැරි තත්වයක් ඇතිවී තිබෙනවා නම් ලංකාවට එන්න අයිතියක් තිබෙනවා. විදේශ රටක පුරවැසියන් බවට පත් නොවුණ ශ්‍රී ලාංකිකයින්ගේ වීසා කාලය අවසන්වී තිබෙනවා නම් මේ රටට පැමිණීමට ඔවුන්ට තිබෙන අයිතිය වළක්වන්න කාටවත් බැහැ. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක්.
කොරෝනා වසංගතය නිසා පත්වී තිබෙන තත්වය යටතේ ඒ ඒ රටවල තානාපති කාර්යාලවල විශේෂ වගකීම තමයි ලාංකිකයන් ගැන සොයා බලන්න මැදිහත්වීම. ඔවුන් අපේ රටට අයිති නැති අය හැටියට කවුරු හරි හිතනවා නම්, ඔවුන් මේ රටට පැමිණීම වසංගතය ගෙන ඒමක් කියලා හිතනවා නම් එය අසාධාරණයි. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ, ප්‍රජා සෞඛ්‍ය සේවාවන්, ග්‍රාම නිලධාරීන් පී.එච්.අයි මහත්තයා දක්වා මැදිහත්වෙලා වසංගතය මර්දනය කරන්න විශේෂ වැඩපිලිවෙළවල් ගෙන යනවා. ඒ අතරේ ආණ්ඩුව මැදිහත් වෙන්නේ පාසල් විවෘත කරන දින නියම කරන්න, අධිවේගී මාර්ග විවෘත කරන්න, ඇඳිරි නීතිය ඉවත කරන ආකාරය ප්‍රකාශයට පත් කරන්න වගේම තැබෑරුම් විවෘත කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී යැයි යන හැඟීම හදන්න. විශ්වවිද්‍යාල, රජයේ ආයතන වගේම පෞද්ගලික ආයතන විවෘත කරන්න හැකි බව අඟවමින් ඊට අදාල නිර්ණායක හදලා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇති බව සාකච්ඡාවට ගත්තා.
මෙතරම් උනන්දුවක් අපේ ආර්ථිකයේ කොඳු නාරටියවූ විදේශ රැකියා කරන්නන් කොරෝනා වසංගතයෙන් අසරණවී ඉන්න මොහොතේ ආණ්ඩුව ක්‍රියාත්මක වන බවක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන්ම මැදපෙරදිග රටවල්වල පාස්පෝට් නැතිව, වෙනත් ලියකියවිලි නැතිව ඉන්න අයට ඒවා හදලා දීලා, ගුවන් යානා පවා ලබාදීලා ලංකාවට එවන්න සූදානම් බව නිළ වශයෙන් දන්වලා තිබුණා. නමුත් අපේ රටේ දේශපාලන අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ අය ගෙන්වා ගන්න සූදානම් නැහැ. මේ නිසා අපි ආණ්ඩුවෙන් සාධාරණ ප්‍රශ්නයක් අහනවා, ජන ජීවිතය යථාතත්වයට පත්කරන්න සූදානම් බව ප්‍රකාශ කරන්න ආණ්ඩුවේ තිබෙන සූදානමේ තරමට, මැතිවරණය පවත්වන්න උනන්දුවන තරමට අසරණභාවට පත්වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්න විදේශ රටවලින් සහය පළකරන්න සූදානම්ව සිටියදී ආණ්ඩුවේ උනන්දුවක් නැහැ.
මුලින්ම අපි අප්‍රේල් මාසයේ 07වැනිදා දිනේෂ් ගුණවර්ධණ විදේශ කටයුතු ඇමතිවරයාට ලිඛිතව යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එහිදී අපි ඉතා පැහැදිලිව සඳහන් කළ එක කාරණයක් වූයේ ලංකාවේ ගුවන්තොටුපොළවලින් රටට පැමිණෙන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර නිවාසවලට යවන ප්‍රමාණයට සාපේක්‍ෂව තවත් පිරිසක් ලංකාවට ගෙන්වාගෙන නිරෝධායනයට ලක්කර සියලු සෞඛ්‍ය අංශවල නිර්නායකවලට යටත්ව මේ විදේශ රැකියා කළ පිරිස් ගෙන්වාගෙන තමන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සමාජගත වෙන්න ඉඩ දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික කටයුත්තකට හරි රජයේ පුහුණු කටයුත්තකට හරි විදේශගතවෙලා ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්න අය ගැන සංගණනයක් කරලා රට තුළට එන්න අවශ්‍ය ඉඩකඩ හදලා දෙන්න කියලා යෝජනා කළා. ඒ වගේම වීසා කාලය අවසන්වී ලංකාවට එන්න නොහැකි අයට පහසුකම් සලසා දෙන්න කියලත්, විදේශ රැකියා කරන අතර කොරෝනා රෝගයට ගොදුරුවී ඉන්නවා නම් ඔවුන් ගැනත් ඔවුන්ගේ පවුල් ගැනත් මැදිහත් වෙන්න කියලා යෝජනා කළා.
ඊටත් අමතරව විශේෂ ඉල්ලීමක් කළා, විදේශ රැකියා සඳහා පිටත්ව යන මොහොතේදී රුපියල් 17,000ක් වැනි මුදලක් අයකරගෙන ලබාදුන් රක්‍ෂණාවරණය සහ සෙසු රක්‍ෂණාවරණයන්හි මුදල් ලබාගෙන විදේශගත පුද්ගලයින්ට අවශ්‍ය ආහාරපාන, සෞඛ්‍යාරක්‍ෂාව, නවාතැන් පහසුකම් වෙනුවෙන් යොදවන්න කියලා. නමුත් ආණ්ඩුව මේ දක්වා කිසිම අවධානයක් යොමුකර නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.
ඔවුන් මුහුණදී සිටින පොදු ගැටලු ගණනාවක් තිබෙනවා. මැදපෙරදිග රටවල් කොරෝනා තත්වය හමුවේ අරගෙන තිබෙන තීරණත් එක්ක කුවේ, කටාර්, සෞදි අරාබි, අබුඩාබි සහ ඩුබායිහි අසරණවූවන් සිටිනවා. කොරියාවට වඩා අර්බුදයක් මැද පෙරදිග ඇතිවී තිබෙනවා. මාලදිවයිනට අයත් දූපත්වල වැඩකරන ශ්‍රීලාංකිකයන් විශාල පිරිසක් ඉන්නවා. මාලි නගරයට රැස්වූ විශාල පිරිසක් ඉන්නවා. අපට ඉතාම ආසන්න රටක් වුණත් විශේෂ තත්වයන් ගණනාවක් නිසා වැඩිම පීඩාවට පත්වන පිරිසක් එහි රැඳී ඉන්නවා.
වර්ග කිලෝමීටරයක 23,000ක පමණ ජන ඝණත්වයක් නිසා වසංගතයෙන් ඔවුන්ට විශාල පීඩාවක් තිබෙනවා. කොරෝනා ආසාධනයට ලක්වූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු හමුවී තිබෙනවා. එහි තිබෙන ලංකා බැංකු ශාඛාව වසා තිබෙනවා. එහි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉතාමත්ම අඩු පහසුකම් සහිත තැනක අනෙකුත් රටවල අයත් සමග නිරෝධානයනයට ලක්කර තිබෙනවා. මුදල් තිබුණත් ආහාර හිඟයක් ඇතිවී තිබෙනවා. ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ඒ රටේ පුරවැසියන්ට. අපේ සහෝදර ජනතාව මේ නිසා ඉතාමත්ම බරපතල තත්වයකට පත්වෙලා. ආහාර හුවමාරුකරත්තත් දැන් ආහාර අවසන් වෙමින් තිබෙනවා. රෝගය ඉතා ඉක්මනින් පැතිරීමේ අනතුරත් නිසා වහාම ලංකාවට ගෙන්වා ගන්න කියලා ඉල්ලීමක් තිබෙනවා. අපි ආණ්ඩුවට බල කරන්නේ ගුවනායානා හෝ මගී නැව් යොදවලා මේ පිරිස ගෙන්වා ගන්න කියලයි.
මේ අතර රාජ්‍යතාන්ත්‍රික රාජකාරි අවසන්කළ නිලධාරීන් ඉන්නවා. රුසියාවේ මොස්කව් නගරයට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සිරවී සිටිනවා. ලක්‍ෂ 5කට වඩා වැඩිය මුදලක් ඔවුන්ගෙන් ආපසු එන්න ඉල්ලනවා. ඉන්දියාවේදී කෑමට මුදල් නැති ශිෂ්‍යයන්ගෙන් ටිකට් හදන්න මුදල් ඉල්ලා තිබෙනවා. සාමාන්‍ය ගුවන් බලපත්‍රයකට අයකරන මිලට වඩා කිහිප ගුණයක් වැඩියෙන් ඉල්ලනවා. ලංකාවේ තානාපති සේවා නැති කාම්බෝජය වැනි රටවල්වල ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිරවී ඉන්නවා. තානාපති කාර්යාලවල පොදු අඩුපාඩුකම්, දුර්වලතා නොසලකා මේ වෙලාවේ එතෙර අපි සංවිධානය තානාපති කාර්යාල සමඟ සහයෝගයෙන් ශ්‍රී ලාංකිකයින්ට උදව් කරනවා. මේ ආකාරයට සෑම රටකදීම සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම් බව විදේශ අමාත්‍යාංශයට දන්වා යැව්වා.
අප්‍රේල් 30 දක්වා කුවේට් රාජ්‍යයෙන් පොදු සමා කාලයක් ලබාදුන් පසු රැඳී සිටි නිවෙස්වලින් ලාංකිකයන් එළියට ආවා. මේ අයගෙන් ඇතුළට ගත්තේ පාස්පෝට් තිබුණ අය විතරයි. වීසා හෝ පාස්පෝට් හෝ වෙනත් ලියකියවිලි නැති අයට තානාපති කාර්යාලයෙන් ලියකියවිලි හදාගෙන එන්න කාලයක් දුන්නා. නමුත් ඒ මොහොතේ තානාපති කාර්යාලය වහලා තිබීම නිසා ඔවුන් ඉතාමත් අසරණ වුණා. බොහෝ පිරිසකට රාත්‍රීය ගතකරන්න තැනක් පවා නැති වුණා. වැඩ කරන තැන්වලින් එළියට ආව අය ඒ හාම්පුතාලා ආපහු ගන්නේ නැහැ.
තානාපති කාර්යාල මට්ටමෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා ඉක්මනින් මැදිහත්වෙලා හැකි ඉක්මනින් කොටස් වශයෙන් ලංකාවට කැඳවා ගැනීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ලංකාවේ සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුව නීති සියල්ලට යටත්ව කටයුතු කරන්න ශ්‍රී ලාංකිකයන් සූදානම්.
එක් එක් රටවල්වල ශ්‍රී ලාංකිකයින් වීඩියෝ දර්ශන එවා තිබෙනවා. වීඩියෝ දර්ශනවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් ලාංකිකයින් වෙනුවෙන් කර නැති බවයි. ලංකාව තුලදී පවා රෝගීන් මහත් අසරණ වෙනවා. ඔවුන් බලන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. අපේ රට තුළත් එහෙම නම් භාෂාව නොතේරෙන, අවශ්‍ය මූලික පහසුකම් අඩුවෙමින් තිබියදී විදේශ රටකදී ලාංකිකයින් කෙතරම් අපහසුතාවයකට පත්වෙනවද? මේ නිසා තමයි ඔවුන් ගෙන්වා ගත යුතු බව මුලදීම අවධාරණය කළේ. අඩුම ගානේ රාජ්‍ය තාන්ත්‍රිකව පුහුණුවලට යවා සිටින නිලධාරීන් ගෙන්වා ගැනීමටත් මේ දක්ව ක්‍රියාකර නැහැ.
ඒ නිසා විදේශ රටවල අසරණවී ඉන්න ලාංකිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන අතරම එතෙක් ඒ ඒ රටවල්වල ඔවුන් වෙනුවෙන් සහන කටයුතු සැලසීමට එතෙර අපි සංවිධානය හැටියට ක්‍රියා කරන්න අපි සූදානම්. ඊට අවශ්‍ය පසුබිම හදලා දෙන්න කියලත් ඉල්ලනවා. නමුත් ක්‍ෂණිකව මැදිහත් විය යුතු කටයුතුවලට ආණ්ඩුව ඉක්මනින් අවතීරණ වන ලෙස අපි බල කරනවා.
කොරෝනා වසංගතය මර්දනයට විදේශ රටවල්වලින් ණය ආධාර විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ අරමුදල් තිබෙනවා. අපි දැනගන්න කැමැති එම අරමුදල්වලින් කොතරම් ප්‍රමාණයක් මේ අසරණ වූ විදේශගත පිරිස වෙනුවෙන් වෙන කරලා තියෙනවද කියලා.
පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැති නිසා මේවා වියදම් කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම ආණ්ඩුවේ සැලසුම් සකස් කරන්නන් එක්ක සහයෝගයෙන් කටයුතු කර මේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපිට කළ හැකි සියලු මැදිහත්වීම් කරන්න සූදානම් බව දැනුම් දෙනවා. ඒ අතර විදේශගතවී සිටින අපේ සහෝදර ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා එතෙර අපි සංවිධානය සම්බන්ධ කරගන්න කියලා. ඒ වෙනුවෙන් ෆේස්බුක් මගින් සම්බන්ධ වෙන්න පුලුවන්. අපි මේ මොහොතේදී ඉටුකළ යුතු වගකීම් වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ වගේම පවතින තත්වයන් ගැන ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර නැවත නැවතත් බලපෑම් කරන්න සූදානමින් ඉන්නවා.