ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර
කොවිඩ් 19 වසංගත රෝගය මෙන්ම මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙන ඩෙංගු රෝගය ද මාරාන්තික බව අමුතුවෙන් කිය යුතු නැත. කොරෝනා රෝගය වසංගත තත්ත්වයක් වූයේ එය මිනිසාගෙන් මිනිසාට වේගයෙන් බෝවීම හේතුවෙනි. එහෙත්, ඩෙංගු රෝගය වැලඳෙන්නේ ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමෙනි. මදුරුවා මර්දනය කිරීමෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කළ හැකිය.
වර්ෂාවත් සමඟ ලෝකයේ තැනින් තැන කලින් කලට ඩෙංගු රෝගය හිස ඔසවයි. එවැනි කාල සීමාවන් තුළ ඩෙංගු මර්දනය සඳහා ලෝකය පුරා විවිධ ව්‍යාපෘති ද ක්‍රියාත්මක කළ ද තම නිවාස සහ ආයතන අවට මදුරුවන් බෝ නොවන ලෙස පිරිසුදුව තබා ගැනීමට මිනිසුන් ක්‍රියාත්මක නොවීම නිසා මාරාන්තික ඩෙංගු රෝගය කලින් කලට මිනිස් ජීවිත බිලි ගනී.
2018 වර්ෂය තුළ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51659ක් වාර්තා වී ඇති අතර 2020 වර්ෂය වන විට එම සංඛ්‍යාව 20498ක් වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තාවල සටහන් වී තිබේ. මින් පැහැදිලි වන්නේ ඉදිරි වැසි සමයෙ ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරා උත්සන්න වීමට ඇති හැකියාව ඉහළ බවය.
මෙතෙක් ආසන්න වශයෙන් 27.9%ක් පමණ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ඇතැම් ඉදිකිරීම් බිම් ආශ්‍රිතව මදුරු ව්‍යාප්තිය ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩිය. මේ හේතුවෙන් ඩෙංගු රෝගය පිළිබඳව නැවත නැවතත් විමසිලිමත් වීම අප සැමගේ වගකීමකි.
නාගරීකරණය වූ හා ජනාකීර්ණ ප්‍රදේශවල පසුගිය වසර පුරාවටම ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම පිළිබඳව ද දැඩි අවධානයක් යොමු විය යුතුය. රෝගීන් වැඩි සංඛ්‍යාවක් වසරේ මැද එනම්, මැයි සහ ජූලි අතරතුර නිරිත දිග මෝසම් වැසි ආශ්‍රිතව ද, වසර අගදී එනම්, ඔක්තෝබර් සිට ජනවාරි දක්වා ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතව ද වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන තැනක් ගන්නා ඩෙංගු රෝගය වැලඳුණ අයකු මුලින්ම වාර්තා වන්නේ 1962 වසරේදී ය. මෙය වසංගත තත්වයක් ලෙස වාර්තා වන්නේ 1965-1966 වසරවලදී ය.
වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් කරන ලද පර්යේෂණවලට අනුව, 1970 හා 1980 දශකවල යම් යම් කාල සීමාවලදී ඩෙංගු වසංගත තත්ත්ව මෙරට ඇති වී තිබේ. එබැවින්, 1996 වසරේදී ඩෙංගු රෝගය අනිවාර්යයෙන්ම දැනුම් දිය යුතු රෝග ලැයිස්තුවට ඇතුළත් කෙරිණ.
ඩෙංගු රෝගය වැලඳුණු මුල් අවස්ථාවේදී එය සාමාන්‍ය උණ රෝගයක් ලෙස සලකා බොහෝ දෙනා විවිධ ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් රෝගය හඳුනාගැනීමට කල් ගත වී මරණීය තත්ත්වයක් දක්වා වර්ධනය වේ. පැරසිටමෝල් හැර වෙනත් කිසිඳු ඖෂධයක් මෙවැනි අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදය වේ.
ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුව, පපුව රිදීම, සෙම ගතිය, මුත්‍රා පහවීම අඩුවීම, සමෙහි රතු පලු හට ගැනීම, ඇස් යට වේදනාව සහ බඩ රිදීමක් සමඟ බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.
විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැළකී විවේක ගැනීමත් හැකි තරම් දියර වර්ග පානය කිරීමත් මේ රෝගීන්ට ලබා දෙන වැදගත්ම උදේශයයි.
2020 වර්ෂය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මෙසේ අදහස් පළ කළේ ය.
”මේ දිනවල ඩෙංගු රෝග තත්ත්වයේ සුළු වැඩි වීමක් තිබෙනවා. කොළඹ, ගාල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්වල රෝගීන් වාර්තා වෙලා තිබෙනවා. නමුත් තවමත් මෙය මර්දනය කළ හැකි තත්ත්වයේ පවතින නිසා ඩෙංගු රෝගීන් වාර්තා වූ ඒ ප්‍රදේශ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කරලා තිබෙනවා”
”වර්ෂාව හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව වැඩියි. කොළඹ, ගම්පහ, මහනුවර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙහිදී ඉදිරි වාතාවරණය සලකා බලා දිවයිනේ ඩෙංගු ව්‍යාප්තිය ඇති ප්‍රදේශ හඳුනාගනිමින් මේ වැඩසහන් ක්‍රියාත්මක කරනවා”
”කොවිඩ් 19 රෝග ලක්ෂණ සහ ඩෙංගු රෝග ලක්ෂණ අතර ඇති සමානතාවය හේතුවෙන් බොහෝ දෙනා බියෙන් පසුවෙනවා. මේ රෝග දෙකම මාරාන්තික විය හැකි නිසා දැඩි අවධානයෙන් පසුවීම අත්‍යාවශ්‍ය බව ජනතාව අවබෝධ කරගත යුතුයි. කොරෝනා රෝගය හේතුවෙන් පිළිපැදීමට සිදු වී ඇති සෞඛ්‍ය පුරුදු හා චර්යාවන් ද නීතිරීති ද අනුගමනය කරමින් අපි ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් එකමුතුව වැඩ කළ යුතුයි”
”එහෙත්, කොරෝනා රෝග ලක්ෂණ වන ශ්වසන රෝග ලක්ෂණ ඩෙංගු රෝග ලක්ෂණ ලෙස වාර්තා වෙන්නේ නෑ. උණ, හිසරදය හා ඇඟපත හා හන්දි වේදනාව යන ලක්ෂණ මේ රෝග දෙකේම පෙන්නුම් කරනවා. එවැනි අවස්ථාවක බියට පත් නොවී වෛද්‍ය උපදෙස් අරගෙන රෝගය නිවැරැදිව හඳුනාගෙන අදාළ ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු වීමෙන් මේ රෝග පාලනය කළ හැකියි. විශේෂයෙන්ම ඩෙංගු රෝගය වාර්තාව වන ප්‍රදේශ කඩිනමින් හඳුනාගන්නත් ඒ ප්‍රදේශවල මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නත් අපිට එමඟින් හැකියාව ලැබෙනවා”
”දැනට ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ සුළු ප්‍රමාණවලින්. එය ගිය වසරේ මේ කාලය වන විට වාර්තා වූ ගණනට වඩා අඩු ප්‍රතිශතයක්. නමුත් මේ ප්‍රමාණය වෙනස් විය හැකි නිසා අපිට අවශ්‍ය වන්නේ දැඩි අවධානය පමණයි”.
”ඩෙංගු මදුරුවා හඳුනා ගැනීමේ ලක්ෂණ තිබුණත් සාමාන්‍යයෙන් මදුරුවන් කෙරෙහි එදිනෙදා ජීවිතය තුළ අවධානයක් යොමු කිරීම ප්‍රායෝගික නොවන්නට හැකියි. කළු පැහැති කුඩා මදුරුවකු වන ඩෙංගු මදුරුවා සුදු පැහැති තිත් සහිත වන අතර දක්නට ලැබෙන්නේ උදය වරුවේ 6-9 අතරත් සවස 3-6 අතර කාලයේදීයි. නමුත් බඩ පිරී නොමැති අවස්ථාවක මේ මදුරුවන් දිනයේ ඕනෑම වේලාවක දී දෂ්ට කළ හැකියි”
”ඩෙංගු වාර්තා වන ප්‍රදේශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු යොදවා පරීක්ෂා කටයුතු සහ උපදෙස් ලබා දීම් කරන අතර මේ මදුරුවා වර්ධනය වී ඇති බවට සාක්ෂි හමුවන නිවාස හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් අපි කටයුතු කරනවා”
ඩෙංගු මදුරුවන්, කීටයන් නිවැසියන්ගේ නොසැලකිල්ලෙන් වර්ධනය වී සිටියේ නම් ඔවුන්ට රතුපැහැති කාඩ්පතක් ලබා දී සතියක් ඇතුළත ඒවා ඉවත් කොට පිරිසුදු කිරීමට අවස්ථාව ලබා දෙන අතර විශාල වශයෙන් මදුරුවන් හා කීටයන් වර්ධනය වී ඇති ස්ථාන භාරකරුවන් වේ නම් ඔවුන්ට ක්ෂණිකව නඩු පැවරීමටත් කටයුතු කරන බව ද අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ය.
කොළඹ, ගම්පහ, කලුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්ක හත තුළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ජනතාව දැනුවත් කිරිම්, ස්ථාන පරීක්ෂා කිරීම්, දුම් ගැසීම වැනි පියවර ගනු ලැබේ. මේ සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන රජයෙන් ලබා දී ඇති අතර ඩෙංගු මදුරුවා මර්දනය කිරීම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ ජනතාවගේ සහයෝගය බව අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි