වතුකම්කරු ගැටලු විසඳීම ගෝඨාභයට හෝ නවීන්ට හැකියාවක් නෑ – නීතිඥ හිරන්‍යා හේරත්

Spread the love

වත්මන් ආණ්ඩුවට හෝ හිටපු වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාට වතු කම්කරුවන්ගේ ගැටලූ විසඳීමට කිසිම හැකියාවක් හෝ උනන්දුවක් නැතැයි සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත‍්‍රික් අපේක්ෂිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය පැවසුවාය.

අද (24) දින නුවරඑළියේ දී පැවති ජනහමුකදී මේ බව සඳහන් කළ හිරන්‍යා හේරත් මහත්මිය කියා සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යධුරයට සින්නක්කරවම ලියා ගෙන සිටි නවීන් දිසානායකගෙන් නුවරඑළියේ වතු ජනතාවට පසුගිය සමයේ සිදු වූ සේවය කුමක් දැයි අද වතු ජනතාවගේ ඡන්ද සිඟමනේ යන නවීන් දිසානායක විසින් හෙළි කළ යුතු බවයි.

වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ වතු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන බවට පොරොන්දු වූ බව සිහිපත් කළ හිරන්‍යා හේරත් මහත්මිය එම වැටුප් වැඩි කිරීමට මේ දක්වා නොහැකි වුණේ මන්දැයි ජනපතිවරයාගෙන් ප‍්‍රශ්න කරන බව ද සඳහන් කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වුණේ පැය විසි හතරෙන් පොදුජන ගැටලූ විසඳන සහතිකය දී බවත් එහෙත් කොවිඞ් අර්බුදය මතු වූ මාර්තු මාසය දක්වාම වතු කම්කරු වැටුප වැඩි කිරීමට ඔහු කිසිඳු උනන්දුවක් නොදැක්වූ බව ද හිරන්‍යා හේරත් මහත්මිය කීවාය.

මේ තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂගෙන් හෝ නවීන් දිසානායකගෙන් වතු කම්කරුවන්ට යුක්තිය ඉටු නොවන බවත් එය කළ හැක්කේ සමගි ජන බලවේගය බලයට පත් කිරීමෙන් පමණක් බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.

RSL

Related Posts