ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’

Spread the love

නීලකාන්ත භානු ප්‍රකාශ් ගණිතයට දක්වන හපන්කම, උසේන් බෝල්ට් කෙටි දුර දුවන්නාක් වැනි යැයි යමෙකුට කිව හැකිය. මනසින් ගණිත ගැටළු විසඳීමේ ලෝක ශුරතාවය ඔහු දිනා ගත්තේ විසි වැනි වියේ පසු වෙද්දීය. ඉන්දියාවට එම රන්පදක්කම හිමි වූ පළමු වතාව එයයි.

ඔහු පවසන පරිදි ගණිතය යනු “මනෝමය ක්‍රීඩාවකි.”

“ගණිතයට ඇති භීතිකාව මුලිනුපුටා දැමීම” තමන්ගේ පරමාර්ථය බව නීලකාන්ත භානු පවසයි. කා අතරත් ඔහු ජනප්‍රිය වී ඇත්තේ භානු නමිනි.

ඔහු “හැම විටම ඉලක්කම් ගැන සිතමින්” සිටී. මේ වන විට ලෝකයේ වේගවත්ම ‘මිනිස් කැල්කියුලේටරය’ ඔහුය.

‘මනෝමය ගණිත සෙල්ලම’ ඔහු සමාන කරන්නේ කෙටිදුර ධාවන තරඟයකට ය. නමුත් වැඩිම වේගයකින් දුවන පුද්ගලයන් පිළිබඳව කිසිවෙකු ප්‍රශ්න නොකළත් වැඩිම වේගයකින් ගණිත ගැටළු මනසින් විසඳීම ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරන බව ඔහු පවසයි.

“උසේන් බෝල්ට් වගේ කෙනෙක් මීටර් 100 තත්පර 9.8කින් දුවනකොට අපි ඒක ප්‍රීතියෙන් සමරනවා. කවුරුවත් අහන්නේ නැහැ, මෝටර් රථ සහ ගුවන් යානා තිබිය දී මොකටද අපි හයියෙන් දුවන්නේ කියල. මෙයින් කරන්නේ කෙනෙකුට හිතා ගන්නවත් බැරි දෙයක් තමන්ගේ ශරීර ශක්තියෙන් කරලා පුදුමයට පත් කරවීම. ගණිතය සහ ගණිත ගැටළු විසඳීම කියන්නෙත් ඒ වගේම දෙයක් තමයි.” භානු, ‘බීබීසී රේඩියෝ 1’ ගුවන් විදුලි නාලිකාවේ නිව්ස්බීට් වැඩසටහනට පැවසීය.

NEELAKANTHA BHANU PRAKASH

ඔහු ගණිතයට උපන් හපනෙක් යැයි ඔබට සිටිය හැක. නමුත් භානුගේ කතාව ඊට වෙනස් ය.

මේ සියල්ල ආරම්භ වුයේ හදිසි අනතුරක් ලෙසිනි. වයස අවුරුදු පහේ දී හිසට සිදු වූ හදිසි අනතුරකින් භානු වසරක් පමණ ඔත්පළ වී සිටියේය. තම ජීවිතයේ ‘ගණිත චාරිකාව’ එක වරම ආරම්භ වූයේ එතැන් පටන්ය.

“මගේ දෙමව්පියෝ හිතුවේ මම සදහටම සිහි කල්පනාවක් නැති කෙනෙක් වේවි කියල. ඒ නිසා මගේ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා මම මනසින් ගණිත ගැටළු විසඳීමට පටන් ගත්තා.”

ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන බොහෝ දෙනෙකුගේ අභිප්‍රාය වන්නේ ලෙහෙසියෙන් හොඳ රැකියාවක් ලබා ගැනීමට හෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට අවැසි දැනුමක් ලබා ගැනීම මිස ගණිතය වැනි විෂය ක්‍ෂේත්‍රයකට යොමු වීම නොවන බව ඔහු පවසයි.

අනෙකුත් විශිෂ්ඨයන් මෙන් ම භානු ද තම සාර්ථකත්වයට හේතුව ලෙස දකින්නේ පෙර සූදානම ය.

ඔහු මෙය දකින්නේ පුටුවක හිඳ මේසයක් මත කරන ඉගෙනීමක් ලෙස නොව. ඔහුට මෙය, “මනසින් කරන මහා ක්‍රීඩාවකි”.

“මම පුහුණු වෙන්නේ වේගවත් ගණිතඥයෙකු පමණක් වන්නට නොවෙයි. වේගයෙන් සිතීමේ හැකියාවත් ප්‍රගුණ කරනවා.”

භානු කුඩා කල, පාසල් නිම වීමෙන් අනතුරුව ද දිනකට පැය හය හතක් පුහුණුවේ යෙදුණි.

නමුත් වාර්තා තබමින් සහතික සහ ශුරතා දිනා ගැනීමෙන් අනතුරුව ඔහු දෛනිකව කරගෙන ආ සම්මත පුහුණුවට එතරම් කාලයක් වය කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ “කිසිදු ආකෘතියකින් තොරව හැම විටම ඉලක්කම් ගැන සිතීම” ය.

“මම සංගීතයට සවන් දෙමින් හෝ මිනිස්සුත් එක්ක කතා කරන ගමන් පුහුණු වුණා. ඇතැම් විට ක්‍රිකට් සෙල්ලම් කරන ගමන් පුහුණු වුණා. මේ විදියට තමයි කාරනා කීපයකට එකවර මොළය ක්‍රියා කරවීම සඳහා පුහුණුව ලබා ගත්තේ.”

ඔහු සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙමින් තිබෙන අතරතුර ම ’48වරක් චක්‍රය’ හඬ නගා කියා පෙන්වීමට ඔහු සමත් විය.

“මාව පහු කරගෙන යන හැම ටැක්සියකම නොම්බරේ අංක එකට එකතු කරනවා. මම කා සමඟ හෝ කතා කරන ගමන් ඒ පුද්ගලයා ඇහි පිල්ලන් ගහන වාර ගණන මම ගණන් කරනවා. ඒක අමුතුයි වගේ පෙනුනට එමගින් ඔබේ මොළයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යා හැකි වෙනවා.” භානු පැවසීය.

48වරක් චක්‍රය’

භානු මෙම පුහුණුවේ යෙදෙන්නේ වාර්තා බිඳ හෙළීම සඳහා පමණක් නොවේ. ඔහුට එය විනෝදය ගෙන දෙන්නකි.

“වාර්තා හෝ ගණනය කිරීම් තුළින් කියවෙන්නේ ලෝකයට ගණිතඥයන් අවශ්‍ය බව පමණයි. නමුත් මෙය අප ආදරේ කරන විෂයය බවට පත්විය යුතුයි. ඉන් අපට විනෝදයක් ගෙන දිය යුතුයි.” භානු විස්තර කළේය.

බොහෝ දෙනා ඉලක්කම්වලට බිය වන බවත් එම “භීතිය” තුරන් කිරීම තම අරමුණ බවත් ඔහු පවසයි.

ගණිතය යනු විනෝදශීලී විෂයයක් ලෙස ප්‍රවර්ධනය කිරීම තමන්ගේ වගකීමක් ලෙස, ජාත්‍යන්තර වේදිකාවට ගොඩවී සිටියදී තමන්ට දැනෙන බව භානු ප්‍රකාශ කළේය.

ලෝක වාර්තා හතරක් සහ තවත් ශුරතා කීපයක් ලද භානු පිළිබඳව “ආඩම්බර” වන බව සිය පවුලේ සාමාජිකයෝ පවසති.

ඒ සියලු ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා පවුලේ සියලුදෙනා තමන් ධෛර්යමත් කළ බව භානු සිහිපත් කළේය.

“මම පළමු ලෝක ශුරතාවය දිනා ගත්තට පස්සේ මගේ මාමා ඇවිත් මට කිව්වා ලෝකයේ මෙතෙක් කිසිවෙකු ළඟා වී නැති වේගයක් වාර්තා කිරීමට මා උත්සාහ කළ යුතු බව.”

“එදා මම හීනෙකින්වත් හිතුවේ නැහැ ලෝකයේ වේගවත්ම මිනිස් කැල්කියුලේටරය බවට මම පත්වේවි කියල.”

Text by- bbc

RSL

Related Posts