රාජ්‍ය සේවය ශක්තිමත් කරපු ‘එකම ආණ්ඩුව’ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි – ඇමති ප්‍රසන්න

Spread the love

රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. එලෙස රාජ්‍ය සේවය හෑල්ලුවට ලක්කල යහපාලන නඩය නැවතත් රජයේ සේවකයන් රැවටීම සදහා කිඹුල් කදුළු හෙළමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

එජාපය, ජවිපෙ හා සජිත්ගේ අටමගලය කුජීත වි ඇති බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා රට විනාශ කළ යහපාලන කැදහැළිය නැවත බලයට ගෙන ඒමට මෙරට ජනතාව සුදානම් නැතැයි ද කියා සිටී. හැකිනම් පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් සමග එකතු වී හෝ  තුනෙන් එකක්වත් ගෙන පෙන්වන්නැ‘යි ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

මීරිගම පනාවල ප්‍රදේශයේ ඊයේ (11) පැවති රැස්වීමකට එක් වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“සජිත්ගේ කට්ටිය කියනවා ආණ්ඩුවට තුනෙන් දෙක නෙමෙයි සරල බහුතරයවත් ගන්න බෑ කියලා. අපි තුනෙන් දෙක අරන් පෙන්නනම්. පුළුවන් නම් මේ දෙගොල්ලෝම එකතුවෙලා තුනෙන් එකක් අරන් පෙන්නන්න කියලා මම අභියොග කරනවා. අද එජාප යයි, ජවිපෙයි සජිත්ගේ ඔය අටමගලෙයි කුජීත වෙලා ඉවරයි. පසුගිය යහපාලනයේ හිටපු අලි කොටි නරි ඔක්කොම ඉන්නේ සජිත් ගාව. සජිත් ගාව නැත්තේ කවුද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධව එවුන් ඉන්නවා. මහ බැංකු හොරු ඉන්නවා. පාස්කු ප්‍රහාරයට දාපු කොමිසමේ සාමාජිකයෝ ඉන්නවා. මේ ඉන්නේ පසුගිය කාලයේ මේ රට විනාශ කරපු රට කාබාසනිය කරපු නඩය. මේ නඩයට රැවටුනොත් රට සුං. රට විනාශ කරපු යහපාලන කැදහැළිය ආයේ ගේන්න ජනතාව කැමති නෑ. රට පුරාම මම යනකොට පොහොට්ටුවේ අපේ රැස්විම් වලට එන මිනිස්සු කියන්නේ මහින්දගේ ආණ්ඩුවක් ඉක්මණට හදන්න කියලා. 2015 දි වෙච්ච වැරැද්ද නැවත කරගන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා. සජිත් කියන තරමක් කියන්නේ බොරු. කරන තරමක් කරන්නේ විහිළු. මම දැක්කා සජිත් කියනවා එයා අගමැති වුණොත් රුපියල් 20,000 ගාණේ දෙනවා කියලා. හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය, ගල්කිස්සේ වෙරළ තීරය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය නතර කරලා මේ වැඩේ කරනවා කියලයි සජිත් කියන්නේ. අඩුම තරමේ මූල්‍ය ප්‍රතිපත්ති ගැන අවබෝධයක් නැති සජිත් මේ හදන්නේ ජනතාව රවට්ටන්නයි.

සජිත් රනිල් කියන්නේ දැක්මක් නැති නායකයෝ දෙන්නෙක්. හිටපු උන්නැහෙත් එහෙම තමයි. කිසිම දැක්මක් තිබ්බේ නෑ. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව තරම් රාජ්‍ය සේවය හෑල්ලුවට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ තිබුණේ නෑ. රනිල් මෛත්‍රී ආණ්ඩුව මේ රටේ රාජ්‍ය සේවය කප්පාදු කලා. අග්‍රහාර රක්ෂණය නතර කලා. විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැදුවා. මේ රටේ රාජ්‍ය සේවය ස්වාභාවික මරණයට ලක්කරන්නයි ඔවුන් හැදුවේ. රජයේ සේවකයන්ව විවිධ පරීක්ෂණ කොමිෂන් හරහා හිර කරන්න පිඹුරුපත් සැකසුවා. රජයේ රැකියා ලබා දෙන්න ඇමතිවරු වෙරළ තීරවල සම්මුඛ පරීක්ෂණ කරපු හැටි අපි දැක්කා. පියාණෝගේ පුතාණෝ උස නම් සිකියුරිටි – මිටි නම් කම්කරු තනතුරු දුන්නේ කොහොමද කියලා අපි දන්නවා. දැන් සජිත්ලා රනිල්ලා රාජ්‍ය සේවය වෙනුවෙන් කිඹුල් කඳුලු හෙළනවා. සංස්කෘතික අරමුදලේ සල්ලි හොරකම් කරලා තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න කටයුතු කරපු ඇමතිවරු තමයි ඒ කලේ හිටියේ .

මේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත් කරපු එකම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඒ කලේ උපාධිධාරින් රජයේ රැකියා වලට බදවා ගත්තා. රාජ්‍ය සේවය ගෞරවණීය සේවාවක් බවට පත් කළා. අග්‍රහාර රක්ෂණය, විශ්‍රාම වැටුප විධිමත් කළා. 2001 දි බලයට පත්වුණ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රාජ්‍ය සේවය ලක්ෂ 07 කට බැස්සුවා. මහින්ද මහත්තයා තමයි ඒක ලක්ෂ 15 දක්වා වැඩි කළේ. පහුගිය යහපාලන ආණ්ඩුව නැවත එය ලක්ෂ 11 දක්වා අඩු කළා. රාජ්‍ය සේවය කප්පාදු කරපු රජයේ සේවකයන් හිරේ දාපු යහපාලන නඩය අද රජයේ සේවකයන්ගේ සහාය ඉල්ලනවා. මේක තරම් විහිළුවක් කොහෙවත් තියෙනවාද? අද රටේ නායකයා කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. ඔහු නිවැරිදි රාජ්‍ය සේවයක් සදහා කැප වූ අයෙක්. ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුතු පොහොට්ටු රජයක් යටතේ අපි මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ශම හා ශක්තිමත් රාජ්‍ය සේවාවක් බවට පත් කරනවා. ඒ සදහා අවශ්‍ය සැලසුම් දැනටමත් සකස් කර අවසන්. ”

අපේක්ෂිකා කෝකිලා හර්ෂණි ගුණවර්ධන මහත්මිය ද මෙහි දී කථා කළාය.

RSL

Related Posts