රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නෑ – ස.නි.සේ. සංගමය

Spread the love

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව  දැඩි අප‍්‍රසාදය පළ කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරනවා.

මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!” යන ශීර්ෂයෙන් යුතුව ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය මගින් ජනාධිපති ලේකම්ගේ මෙම ඉල්ලීම සදාචාර සම්පන්න නොවන බවත්  එය බරපතළ ගැටලු ඇති කරන්නක් බවත් සඳහන් කර තිබෙනවා.

එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපති තුමනි,

මුළුමහත් රටේම සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති මොහොතක රාජ්‍ය සේවක මැයි වැටුප ආණ්ඩුවට ලබා ගැනීමේ උත්සහයට එකඟ නොවෙමු!

ගරු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂය යොදාගනිමින් රාජ්‍ය ප‍්‍රධානීන් අමතමින් රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයේ වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස කර ඇති පෞද්ගලික ඉල්ලීම පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය පල කරමු.

අග‍්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකු අධිපති, අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දක්වා යොමු කරමින්, නීතිපති හා විගණකාධිපති වෙත පිටපත් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා සිදු කර ඇති පෞද්ගලික ඉල්ලීම බරපතල ගැටළුවකට මුහුණ දෙන බවද ප‍්‍රකාශ කළ යුතුව ඇත.

#Covid- 19 වසංගත තත්වය අපේ රටට ඇතුල්වූ දා සිට අපේ රටේ ජනතාව වෛරසය වැළදේයයි දැඩි ජීවිත අවධානමකින් සිටින අතර දැඩි ආර්ථික දුෂ්කරතාවයකින් ද පෙළෙති.

මෙම තත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ද විශාල අර්බුදයකට මුහුණ දී සිටී. මාර්තු හා අපේ‍්‍රල් මාසවල රාජ්‍ය සේවකයින්ට මූලික වැටුපට අමතර අතිකාල හෝ වෙනත් දීමනා ලබා ගැනීම සඳහා ඉඩකඩක් නොවුණි.

මැයි මාසය රාජ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුවන දරුණුම මාසයක් වනු ඇත. අත්හිටුවා ඇති බැංකු ණය පොළී හා වාරික අයකර ගැනීම, ගෙවල් වලට එන අධික මිලක් සහිත විදුලි, ජල හා දුරකතන බිල්පත් ගෙවීමට සිදුවීම, මේ වන විටත් දැරීමට නොහැකි බඩුමිල ඉහළ යෑම ආදී ගැටළු ගණනාවකට ඔවුහූ මුහුණ දෙති.

#Covid- 19 වසංගත තත්වය හමුවේ රාජකාරී කිරීමට සිදු වූ අවස්ථාවේ දී ආශ‍්‍රිත සේවයට අයත් නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් බොහෝ පිරිසකට මුව ආවරණ ඇතුළු උපකරණ පවා සිය පෞද්ගලික වියදමින් මිල දී ගෙන රාජකාරී කිරීමට සිදුවිය. එවැනි අවම පහසුකම් පවා නොලැබුණි.

මෙම වසංගත තත්වයට මුහුණදුන් ලෝකයේ බොහෝ රටවල් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට විශේෂ සහන ලබා දී ඇත. ඇතැම් රටවල් ජනතාවට විශේෂ පීඩනයක් එල්ල නොකර මැති ඇමතිවරුන්ගේ වරප‍්‍රසාද ඉවත් කර ගනිමින් රටේ ආර්ථිකයට සහනයක් වී ඇත.

මාර්තු – අපේ‍්‍රල් දැඩි අවධානම් කාලසීමාවල් තුළ දී රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවය නියෝජනය කරන MN-04 වැටුප් තලයට අයත් උපාධිධාරීන් සිය රාජකාරී ඉටු කරනු ලැබුවේ කිසිඳු දීමනාවක් ද ලබා නොගනිමින් බව ද දන්වා සිටිමු.

වාහන මිලදී ගැනීම්, හිටපු රාජ්‍ය ඇමතිවරු සඳහා විශේෂ වරප‍්‍රසාද, අධිවේගී මාර්ග අලූතින් ආරම්භ කිරීම, මැතිවරණයට කෝටි 800 වැනි මුදලක් වියදම් කිරීමට නියමිත වේ. සියලූ වියදම් මේ තත්වය යටතේ කළයුතු දැයි යලි සිතා බැලිය යුතුව ඇත.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයා සිදුකර ඇති පෞද්ගලික ඉල්ලීම මේ මොහොතේ සදාචාර සම්පන්න එකක් නොවන බව අපි පෙන්වා දෙන්නෙමු. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ MN-04 වැටුප් තලයට අයත් සමස්ත උපාධිධාරී නිලධාරීන් නියෝජනය කරන අප මේ ඉල්ලීම මේ මොහොතේ නුසුදුසු යෝජනාවක් බව පෙන්වා දෙමු. පෞද්ගලික ඉල්ලීමක් වේශයෙන් පැමිණ කිසිඳු ආකාරයකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කපා ගැනීමේ සූදානමක් පවතී නම් අප වෘත්තීය සමිති ව්‍යාපාරය ඊට එකඟ නොවන බවද දන්වා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්

RSL

Related Posts