රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සමරනු වස් සියල්ල සුදානම්

Spread the love

යුද නාවික හා ගුවන් හමුදාවේ මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුහි සේවය කොට රට වෙනුවෙන් දිවිපිදු දේශප්‍රේමී විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතියේ උපහාරය පිරීනැමීමේ 11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

එම නිවේදනයේ සදහන් වන ආකාරයට එම අවස්ථාව සඳහා අගමැති මහින්ද රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් (Admiral of the Fleet), ජනාධිපති ලේකම්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත.

සෞඛ්‍ය අංශයන් ලබාදී ඇති උපදෙස් සඳහා මුල්තැනක් ලබාදෙමින් රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය පස්වරු 4.00 ට ආරම්භ වන අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වේ. තවද මෙම ජාතික උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගිවීමට නියමිතය.

වර්ෂ 2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1160), ගුවන් හමුදාවේ (443) සහ පොලිසියේ (2598) සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ (456) දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කරනු ලැබේ.

ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රටදැය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයෙන් අනතුරුව විරෝදාර රණවිරුවන්ගේ නිර්භිතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමෙන් පසුව ආගමික වතාවත් සිදු කිරිමට නියමිතය. මෙහිදී ‘රණබෙර’ වාදනය කරනු ලබන අතර ගුවනින් සිදුකරනු ලබන පුෂ්පෝපහාර මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති සහ නාවික හා ගුවන් හමුදාධිපතිතවරුන්, පොලිස්පතිතුමන් සහ අනෙකුත් විශේෂ ආරාධිතයින් මෙන්ම දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ ලඟම ඥාතීන් රණවිරු ස්මාරකය පාමුල මල් කළඹන් තබා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීමට නියමිතය.

හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන ත්‍රිවිධ හමුදා සහ පොලිස් තුර්යවාදක කණ්ඩායම් බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු සිහිකිරීමේ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන්වීමට නියමිතය.

RSL

Related Posts