රජයේ රැකියාවලට බදවා ගත් උපාධිධාරීන්ට ආණ්ඩුව ‘කඩවුණු පොරොන්දුව’ පෙන්නවා

Spread the love

මැතිවරණය දින නියමයක් නොමැතිව කල්තබා ඇති මොහොතක කඩිනමින් මේ සදහා වගකිව යුතු අංශ සමග සාකච්ඡා කර උපාධිධාරීන් සදහා වන පුහුණුව ආරම්භ කර ඒ සදහා ලබා දීමට පොරොන්දු වූ 20,000 දීමනාව ඔබතුමන්ගේ රජය විසින් ලබාදීමට කටයුතු කළ යුතු බව ‘බොදුබල සවිය‘ සංවිධානය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

එම සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් විසින් අද (26) අගමැතිවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

2020.05.26

අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහමැදුර, කොළඹ 01.

ගරු අග්‍රාමාත්‍යතුමනි,

ජනාධිපතිවරණයේදී  උපාධිධාරීන්ට දුන් පොරොන්දුව දිගින් දිගටම කඩවීම සම්බන්ධයි.

ඔබතුමන්ගේ ආණ්ඩුව ජනාධිපතිවරණ සමයේදී ප්‍රකාශයට පත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ලබාදුන් ප්‍රධානම පොරොන්දු අතර රැකියා විරහිත උපාධිදාරීන් 54,000 රාජ්‍ය සේවයට බදවා ගැනීම දැක්විය හැක. එම පත්වීම් සියල්ල ජනාධිපතිවරණයට පසුව (2020 ජනවාරි මස 1 වන දින සිට) ලබා දෙන බවට රජය විසින් පොරොන්දු ලබා දී තිබුණත් මාර්තු මස 2 වන දා වනතුරු පත්වීම් ලබාදීම කල් දැමීය. ඉන්පසු මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශ වූ අතර, උපාධිදාරීන් සදහා වන පුහුණුව මැතිවරණය අවසන් වූ පසු ලබා දෙන බවට දක්වා තිබුණි.

මෙවැනි තත්වයක් තුළ ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය හමුවේ මහමැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමුණි. මෙම කාල සීමාව තුලදී පුහුණුව සදහා බදවාගත් උපාධිදාරීන්ට රු 20,000 දීමනාව ලබා දෙන බවට ඔබතුමන් මාධ්‍යට ප්‍රකාශ කළද එය එසේ සිදු නොවීය.

අද වන විට උපාධිදාරීන් කබලෙන් ලිපට වැටුනා වැනිය. පත්වීම් ලබාදීමට පෙර බොහෝ පිරිසක් ඒ වනතෙක් නියැලුණු පෞද්ගලික රැකියාවලින් ඉවත් වූ අතර, ඔවුන්ට මේ වනවිට කිසිදු ආදායම් මාර්ගයක් නැත. ඔබතුමන්ගේ රජය ලබාදුන් රු5000 දීමනාව ද රැකියා ප්‍රශ්නය නිසා බොහෝ උපාධිදාරීන් පිරිසකට අහිමිව ඇත.

මෙම රැකියා ලබාදීම සදහා විපක්ෂය, මැතිවරණ කොමිෂන් සභාව හෝ වෙනත් කිසිදු බලවේගයක් අද වනවිට විරැද්ධ වී නැත. එබැවින් මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ ඔබතුමන්ගේ රජයේ බලධාරීන් සතුවය. මෙවැනි තත්වයක් තුළ ඔවුන් උපාධිදාරීන්ගේ බදවා ගැනීම කල්දමා අමාත්‍යංශ සදහා දේශපාලනික වුවමනාවන් මත නිළධාරීන් පත් කරන බවට ඉගි පලවී ඇත. මෙයින් පැහැදිලි වන්නේ  වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සදහා කැප වූ සමස්ථ උපාධිදාරීන් නොමග යවනා බවයි.

එපමණක් නොව ඔබතුමන්ගේ ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටින්නේ ජනාධිපතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට නොහැකි බවයි. මේ ආකාරයට තරුණ උපාධිදාරීන්ට රැකියා ලබාදෙන පොරොන්දුව වත්මන් රජය දිගින් දිගටම කඩකිරිමත්, ආණ්ඩුවේ වගකිවයුතු පුද්ගලයින් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමත්, නිසා රැකියා විරහිත උපාධිදාරීන් අද වනවිට ඉච්ඡාභංගත්වයට පත්ව ඇත. මැතිවරණය දින නියමයක් නොමැතිව කල්තබා ඇති මොහොතක කඩිනමින් මේ සදහා වගකිව යුතු අංශ සමග සාකච්ඡා කර උපාධිදාරීන් සදහා වන පුහුණුව ආරම්භ කර ඒ සදහා ලබා දීමට පොරොන්දු වූ 20,000 දීමනාව ඔබතුමන්ගේ රජය විසින් ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි.

මෙයට, බුදුගල ජිනවංස හිම – සභාපති, හෙළ බොදු සවිය සංවිධානය

RSL

Related Posts