රජයේ අරමුණ කොරෝනා මැඩපැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැළක්වීමයි – ඇමැති ප්‍රසන්න

Spread the love

කොරෝනා වසංගතය ව්‍යාප්ත වූවාට පසු මැඩ පැවැත්වීමට වඩා එය ව්‍යාප්ත වීම වැලක්වීම රජයේ අරමුණ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආණ්ඩුව ඇදිරි නීතිය පනවා රටම ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ එම අරමුණින් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) දින පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය කටයුතු කරන්නේ විශේෂඥ උපදෙස් අනුව මිස දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොවේ. මේ මොහොතේ ආණ්ඩුවට වැදගත් වන්නේ වසංගතය පැතිරයාම පාලනයයි.

ඒ සදහා ගතයුතු ගතහැකි සියලුම පියවර ගනිද්දී ජනතාව රැක බලා ගැනීමද රජයේ ප්‍රමුඛ කාර්යයක් වෙනවා. ඒ නිසයි මේ වන විට පවතින තත්වය හමුවේ ආර්ථික අපහුතාවයට පත්ව ඇති ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දෙන්න රජය කටයුතු කරන්නේ. ලක්ෂ 60 වැඩි පිරිසකට මෙම මුදල ලබා දීමට රජය කටයුතු යොදා තිබේ.

වැඩිහිටි, ආබාධ සහිත වූවන්ට ලබා දුන් රජයේ දීමනාව මෙවර අප වැඩි කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුල මෙවර රුපියල් 5000 දීමනාවක් ගෙවීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

ඒ එක්කම රජයේ අරමුණ ඇදිරි නීතය හේතුවෙන් නිවෙස් වලට වී සිටින ජනතාවට හොද සැපයුම් ජාලයක් ක්‍රියාත්මක කිරීම. මේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටළු මතුවෙනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපි ඒ ගැටළු වලටද විසදුම් ලබා දෙමින් හැකි උපරිමයෙන් මේ වසංගතය පරාජය කරන්නටත් ජනතාව රැක බලා ගන්නටත් කටයුතු කරමින් සිටිනවා.

මේක රජයේ වගකීම. අපට කොපමණ අවලාද නැගුවත් අප ඒ වගකිම නිසි ලෙස ඉටු කරනවා. මේක අපේ රට පමණක් මුහුණ දෙන තත්තවයක් නොවේ. මෙය ලෝක අර්බුධයක්. මේ මොහොතේ අප කල යුත්තේ රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ උපදෙස් වලට අනුව කටයුතු කිරීමයි. එම උපදෙස් නිසි ලෙස පිළිපැද්දොත් අපට මේ වසංගතය පරාජය කල හැකියි.

ඉදිරි සති 02 ක කාලය ඉතා තීරණාත්මක බවයි සෞඛ්‍ය අංශ මතය. මේ සති 02 තුළ අපට මේ වසංගතය මේ ආකාරයෙන් පාලනය කර ගත හැකි වුවොත් ඉදිරිය යහපත් වනු ඇති බවයි ඔවුන් කියන්නේ. මෙය රජයට පමණක් තනිව කල නොහැකියි. ජනතාවගේ සහයෝගය සියයට සීයයක්ම රජයට අවශ්‍යයි. ඒ නිසා ඉදිරි සති 02ක කාලයත් ඉවසීමෙන් කටයුතු කරන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා.”

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙහිදී කථා කලේය.

RSL

Related Posts