පොහොට්ටුවට මුවා වී පාර්ලිමේන්තුවට පැන ගැනීමට දගලන මෛත්රිගේ ඊලග පිම්ම කුමක්දැයි දැඩි අවධානයකින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ලංකාවේ අදුරුතම හා අසාර්ථකම පාලන කාලය ලෙස රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව ඉතිහාසගත වන බවයි.
මෙවර මහ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩ කල හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ජනතාවගේ වගකීමක් බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා යහපාලනයට මුවා වි රට විනාශ කල පුද්ගලයින් අද සුදනන් ලෙස හැසිරෙන බවද කීවේය.
බියගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය අමතමින් මේ බව සදහන් කළේය. බියගම ඩිලාරා උත්සව ශාලාවේදී ඊයේ (13) මෙම රැස්වීම පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
“ 2015 දී බොරු කරලා බලයට පත් වුණ ආණ්ඩුව මේ රට විනාශ කළා. රනිල් – මෛත්‍රී එළ හරකයි මී හරකයි වගේ දෙපැත්තට ඇද්දා. මහ බැංකු හොරකම කළා. පළි ගත්තා. මහින්ද මහත්තයාගේ දරුවෝ සහෝදරයෝ හිරේ දැම්මා. මහ සංඝරත්නයෙන්, හමුදාවෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් පළි ගත්තා. 2015 ඉදලා 2020 ජනාධිපතිවරණය වනතුරු රටේ ආර්ථිකය බිංදුවට ම ඇදලා දාලා රටේ එල්.ටී.ටී එක නැවත පණ දෙන්න හැදුවා.
පහුගිය දින කීපයේ කොටින්ගේ සයිබර් ප්‍රහාරයට රටේ ප්‍රධාන පෙළේ ආයතන වල වෙබ් අඩවි ලක් වුණේ නිකන් නෙමේ යහපාලනය විසින් කොටි ත්‍රස්තවාදය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පෝෂණය කළ නිසයි. නැගෙනහිර පළාතේ මුස්ලිම් කලාප පිහිටුවන ව්‍යවස්ථාවන්ට යෝජනා ගෙන ආවේ කවුද? එහෙම කරපු යහපාලන ආණ්ඩුවේ උදවිය අද සුදනෝ වෙන්න එනවා.
පාස්කු ප්‍රහාරය වෙන්න කලින් ඉන්දියානු බුද්ධි අංශ දැනුම් දීලා තිබුණා. යහපාලන ආණ්ඩුවේ ජනපති, අගමැති දැනන් හිටියා. පොලිස්පති දැනන් හිටියා. ඒක වළක්වන්න පහුගිය ආණ්ඩුවේ ජනපති මැති ඇමතිවරුන් මොනවද කළේ. අපේ රටේ ජනතාව බිල්ලට දුන්නා. යහපාලන ආණ්ඩුව තරම් රටට වින කරපු ආණ්ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ නෑ. ලංකාවේ අදුරුතම යුගය ලෙස යහපාලන යුගය ඉතිහාසගත වෙලා ඉවරයි.
එදා අපි මේ පොහොට්ටුව හදන කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා අපිව පාරක් පාරක් ගාණේ ඇවිද්දවනවා කියලා. පොහොට්ටුව හැදුවොත් බලාගමු කිව්වා. එහෙම කියපු මෛත්‍රී අද පොහොට්ටුව ලකුණින් තරග කරනවා. යහපාලන ආණ්ඩුව කාලේ තිබුණේ ජනාධිපති, අගමැතියි දෙපැත්තට අදින ආණ්ඩුවක්. ඒ නිසා මට මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් දෙන්න කියලා මෛත්‍රී කිය කියා යනවා.
මෛත්‍රී හදන්නේ මේ පාර පොහොට්ටුවට මුවාවෙලා වෙලා පාර්ලිමේන්තුවට පැන ගන්නයි. මෛත්‍රී ගේ හැසිරීම දිහා අපි හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ. දියකාවගේ කටේ තියෙන මාළුවා ඩැහැ ගන්න උකුස්සෙක් වගේ කියලනේ කිව්වේ. හැබැයි මේ පාර ඒ සෙල්ලම් දාන්න ආවොත් තමයි ඔය උකුස්සා හොද පාඩමක් ඉගෙනගන්නේ….
යහපාලන ආණ්ඩුව පරාජය වෙලා ගෝඨාභය මහත්තයා රටේ වාසනාවට. හිටපු සරල ජනාධිපති වගේ නෙමේ. සරල ජනාධිපතිට 2700 ක් සේවකයෝ හිටියා. ගෝඨාභය මහත්තයා තමන්ගේ සේවක සංඛ්‍යාව දෙසිය ගාණට අඩු කළා. වාහන අඩු කළා. සරල ජනාධිපති ගෙවල් 03 ක් එකතු කරලා කොළඹ නිළ නිවසක් හැදුවා.
ගෝඨාභය මහත්තයා තමන්ගේ ගෙදර ඉදලා වැඩට එන්නේ. බැරිවෙලාවත් රනිල් – මෛත්‍රී ආණ්ඩුවක් තිබුණ නම් රට පුරා මිනී කදු ගොඩ ගැහිලා.එහෙම වුණානම් රනිල් – මෛත්‍රී ආණ්ඩුව කොමිසම් පත් කරන්නේ කොරෝනා පාලනය කරන්න නෙමෙයි. කොරෝනා පටන් ගන්නේ සී අකුරෙන් ද කේ අකුරෙන් ද කියලා හොයන්න. ගෝඨාභය මහත්තයා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල උපදෙස් අරන් මේ කොවිඩ් 19 වසංගතය පාලනය කළ නිසයි අද අපි සැනසීමෙන් ඉන්නේ. රටක් හදන්න රටට පත්වෙලා තියෙනවා. ඒ නායකයාට වැඩ කළ හැකි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි අද අපේ වගකීම ”.