මිනුවන්ගොඩ පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක්

Spread the love

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මිනුවන්ගොඩ ආසනයේ ඉදිකර තිබු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාල 12 කට මැර ප්‍රහාරයක් එල්ල විය. අද (20) අලුයම කිසියම් පිරිසක් මෙම කාර්යාල කඩා බිද දමා ගිණිබත් කර විනාශ කර ඇතැයි ගම්පහ පොලිසිය කියයි. මේ පිළිබද ව පුළුල් විමර්ශනයක් පොලීසිය දැනටමත් ආරම්භ කර තිබේ.

මෙලෙස කඩා බිද දමා විනාශ කර ඇත්තේ කෙහෙල්බද්දර, වීදියවත්ත, නැදගමුව, අස්ගිරිවල්පොළ, උඩුගම්පළ වැනි ප්‍රදේශ වල ඉදි කර තිබු පොදුජන පෙරමුණු  කාර්යාල වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙය පරාජය පෙනි පෙනී වියරු වැටී සිටින පිරිසකගේ බියගුලු නිවට ක්‍රියාවක් බවයි. මෙවැනි ක්‍රියා වලින් පොදුජන පෙරමුණු ගමන නතර කළ හැකි යැයි කිසිවෙකු හිතන්නේ නම්  එය විහිළුවක් බව පැවසූ ඇමතිවරයා පරාජිත දේශපාලනඥයින් මේ සිද්ධිය පිටුපස සිටින බවට සැක පළ කළේය.

පසුගිය දිනෙක අත්තනගල්ල ප්‍ර දේශයේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල වලට පිරිසකගේ මැර ප්‍රහාරයක් එල්ල වූ බව පැවසූ ඇමතිවරයා මෙවැනි කඩාකප්පාල්කාරී ක්‍රියාවන්ට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා මැතිවරණ කොමසාරිස් කාර්යාල වලට ද පැමිණිලි කර තිබේ.

ඡායාරූපයෙන් –

මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාල 12 ක් ඊයේ අලුයම (20) කිසියම් පිරිසක් විනාශ කර දමා තිබිණි. දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම කාර්යාල නිරීක්ෂණය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

RSL

Related Posts