මැලේසියානු හිටපු අගමැති දූෂණ චෝදනාවලට වැරදිකරු වෙයි

Spread the love

මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්, ඔහුට එරෙහිව එල්ලවූ දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබේ.

මේ බව තීරණය කෙරුණේ ඩොලර් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ක්‍රියාත්මත වන නඩු විභාග කිහිපයෙන් එකකදී ය.

සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය හා බලය අයුතු ලෙස යෙදීම යන චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව රසාක් කීය.

2009 සිට 2018 දක්වා බලයේ සිටි නජීබ් රසාක්ට එරෙහි මෙම නඩුව සැලකුණේ මැලේසියාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල පරීක්ෂාවකට ලක් කිරීමක් ලෙසිනි.

මැලේසියාවේ 1MDB ධන අරමුදල සම්බන්ධ අපචාරය තුළින් ගෝලීය වංචා හා දූෂණ ජාලයක් හෙළිවිය.

“නඩුවේ සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් පසු මට පෙනීගියේ, සාධාරණ සැකයෙන් ඔබ්බට සාර්ථකව නඩුව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්වී ඇති බවයි,” යැයි විනිසුරු මොහොමඩ් නස්ලාන් මොහමඩ් ඝසාලි ක්වාලාලම්පූර් මහාධිකරණයේදී පැවසීය.

චෝදනා මොනවාද?

අරමුදලෙන් රිංගිට් මිලියන 42 ක් (ඩොලර් මිලියන 10) එවක අගමැතිවරයාගේ පුද්ගලික ගිණුම්වලට මාරු කිරීම අඟහරුවාදා (ජූලි 28) දුන් තීන්දුවට පදනම් විය.

තමන් කිසිදු වරදක් නොකළේ යැයි පවසන නජිබ් රසාක් සඳහන් කළේ විශේෂයෙන් දැනට නීතියට වසන්වී සිටින මුදල් සම්පාදකයකු වන ජෝ ලෝව් ඇතුළු මුල්‍ය උපදේශකයින් තමන් නොමග යැවූ බවකි.

ඇමෙරිකාව හා මැලේසියාව යන දෙරටේ ම චෝදනාවලට ලක්ව සිටින ජෝ ලෝව් ද තමන් නිවැරදි බව කියා සිටී.

නජීබ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ තර්කය වූයේ ඔහුගේ ගිණුම්වල ඇති මුදල් රාජ්‍ය අරමුදලෙන් කළ අවභාවිතයක් නොව සෞදි රාජකීය පවුලෙන් ලද ප්‍රදාන බවට ඔහුට ඒත්තු ගන්වා ඇති බවකි.

එම චෝදනා සම්බන්ධයෙන්, එකකට වසර 15 සිට 20 දක්වා වූ සිර දඬුවම්වලට යටත් කෙරිය හැක. නඩු තීන්දුව ලැබීමට පෙර නජිබ් සඳහන් කළේ තමන් වැරදිකරු වුවහොත් ඊට එරෙහිව අභියාචනය කරන බවය.

1MDB අපචාරය යනු කුමක්ද?

මැලේසියානු ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා මැලේසියා සංවර්ධන අරමුදල (1 Malaysia Development Berhad – 1MDB) 2009 වසරේදී ස්ථාපනය කරනු ලැබුවේ නජිබ් රසාක් අගමැති ධුරය දරන අවධියේය.

බැංකු හා බැඳුම්කර හිමියන්ට කළ යුතු ගෙවීම් මගහැරීම හේතුවෙන් 2015 දී අදාළ අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ගැටලු පැන නැගිණි.

ඩොලර් බිලියන 4.5 ක මුදලක් අනීතිකව අරමුදලෙන් ඉවත්කොට පුද්ගලික සාක්කුවලට හරවා ඇතැයි මැලේසියානු හා ඇමෙරිකානු බලධාරීහු චෝදනා නැගූහ.

එසේ අතුරුදන් වූ මුදල් සුඛෝපභෝගී ඉඩකඩම් දේපොළ, පුද්ගලික ගුවන් යානයක්, වැන් ගෝ හා මොනෙට් යන ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන්ගේ නිර්මාණ පමණක් නොව ඇති සාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක් වන ද වුල්ෆ් ඔෆ් ද වෝල් ස්ට්‍රීට් (Wolf of Wall Street) සඳහා ද යෙදවී ඇති බව පැවසේ.

2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය.
2018 නජිබ් ගේ මැතිවරණ පරාජයට දූෂණ චෝදනා බෙහෙවින් ඉවහල් විය

ඩොලර් බිලියන ගණනක දූෂණ සිද්ධිය තුළ තමන්ට ඇති සම්බන්ධය සමථයකට ගෙන ඒම සඳහා ඇමෙරිකානු බැංකුවක් වන ගොල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) පසුගිය සතියේදී මැලේසියානු ආණ්ඩුවට ඩොලර් බිලියන 3.9ක් ගෙවීමට එකඟ විය.

අරමුදල සඳහා ඩොලර් බිලියන 6.5ක අරමුදල් රැස් කිරීමට සහය වීමේදී ආයෝජකයින් නොමග යවන ලද බවට මැලේසියාවේදී නැගෙන චෝදනා විසඳාගැනීම එම එකඟත්වයේ අරමුණ විය.

නජිබ් රසාක්ට ඇති වෙනත් චෝදනා මොනවාද?

හිටපු අගමැතිවරයා ධුරය දරන අවධියේදී මැලේසියානු බලධාරීහු සියලු චෝදනාවලින් ඔහු නිදහස් කළහ.

එහෙත් 2018 වසරේ නජිබ් රසාක් ලද මැතිවරණ පරාජයට, අදාළ චෝදනා වැඩි වශයෙන් ඉවහල් වූ අතර බලයට පත් නව ආණ්ඩුව 1MDB අරමුදලට අදාළ පරීක්ෂණ වහා යළි ආරම්භ කළේය.

අඟහරුවාදා (ජූලි 28) තීන්දුව දෙනු ලැබුවේ ඔහුට එරෙහි නඩු විභාගවලින් එකක් සඳහා වන අතර එය වඩා සුවිශේෂී නඩුව නොවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇරඹුණු වෙනත් නඩුවකින් විමසා බැලෙන්නේ 2011 සහ 2014 අතර කාලය තුළදී හිටපු අගමැතිවරයා නීති විරෝධී අයුරින් රිංගිට් බිලියන 2.28ක් (ඩොලර් මිලියන 550) 1MDB අරමුදලින් ලබාගැනීම පිලිබඳවය.

මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා 21 ක් හා බලය අයුතු ලෙස භාවිතයට අදාළ චෝදනා හතරකට මුහුණ දී සිටින නජිබ් රසාක් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ බිරිඳ රෝස්මාහ් මන්සෝර් ද මුදල් විශුද්ධිකරණය හා බදු නොගෙවීමට අදාළ චෝදනාවලට ලක්වී සිටින අතර තමන් වැරදිකාරියක් නොවන බව ඇය පවසයි.

Text by bbc sandesaya

RSL

Related Posts