මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගෙන් දේශපාලනඥයින්ට පාඩමක්

Spread the love

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු ව ඇත්තේ රට ඉදිරියට මෙහෙයවීමට වඩා රට ඉදිරියට තල්ලු කරගෙන යාමට බව කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යනය අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පෙන්වා දෙති. උන්වහන්සේ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව යනු නීතිරීති සම්පාදනය කරන තැනක් මිස දේශපාලන බලය ‍පෙන්වන තැනක් නොවන බවයි.

හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව නිමිත්තෙන් උඩුගම්පළ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ අද (31) පැවති දානමය පුණ්‍ය කර්මයේ දී අනුශාසනාව කරමින් ධම්මරතන හිමියෝ මේ බව සදහන් කළහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව අද (31) උදෑසන දිවංගත රෙජී රණතුංග මහතාගේ ස්මාරකයට පුෂ්පෝපහාර කිරීම ද සිදු විය. ඒ සදහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා පවුලේ සැවොම එක් වූහ. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල  භාවිතාව සදහා සෞඛ්‍ය උපකරණ, විශ්ව විද්‍යාල සිසු සිසුවියන් 05 කු සදහා ශිෂ්‍යාධාර පිරිනැමීම ද මීට සමගාමීව සිදු විය.

මෙහි දී තවදුරටත් සිය අනුශාසනාව කළ ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද කීහ..

‘සමහරු හිතාගෙන ඉන්නේ දේශපාලකයන් කියන්නේ රටකට ප්‍රශ්නයක් වුණ වෙලාවට ජනතාවට කොස් කඩලා, පොල් කඩලා කන්න බොන්න දෙන කෙනෙක් කියලා. දේශපාලකයා කියන්නේ කොරෝනා වෙලාවට කිරි පැකට්, බත් පැකට් හා හාල් පාර්සල් බෙදන කෙනෙක් කියලා සමහරු හිතාගෙන ඉන්නවා. දේශපාලකයා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. දේශපාලඥයාට කාර්යයභාර දෙකයි තියෙන්නේ. එකක් සුභ සාධන වැඩසටහන් කරන එක. ඒ කියන්නේ දුප්පත් මිනිස්සුන්ට හරි නැති බැරි මිනිස්සුන්ට හරි වැඩ කරන එක නෙමෙයි. සුබසාධනවාදී මතයක් සහිත මිනිසුන් සිටින රටකයි දේශපාලඥයා සුබ සාධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුත්තේ. දේශපාලඥයන් සිටින්නේ  ප්‍රතිපත්ති සැදීමටයි. පාර්ලිමේන්තුව කියන්නේ වෙන එකක් කරන එකක් නෙමෙයි. නීති රීති ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනක්. රටක ජනාධිපතිවරයෙක් පත් වන්නේ රට ඉදිරියට මෙහෙයවන්නයි. ඒත් අද අපේ රටේ ජනාධිපතිවරයාට වෙලා තියෙන්නේ රට මෙහෙයවන්න නෙමෙයි තල්ලු කරගෙන යන්නයි.

අපේ අවාසනාවට අපේ රටේ බහුතරයක් හිතාගෙන ඉන්නේ මේ රට පහළ වුණේ හෝ මේ රට තියෙන්නේ ඩී.එස්. සේනානායක මහත්තයාගෙන් පස්සේ කියලා. එහෙම නෑ. මේ රට වෙනස් කරන්න බැරි විදිහට වෙනස් කළේ සුද්දෝ. සුද්දෝ ඉන්නකොට එන සතපනහක බේත් පෙත්තක් රටට ගෙන්නුවේ නෑ. එක හාල් ඇටයක්වත් ඉන්දියාවෙන්වත්, පාකිස්ථානයෙන්වත් ගෙනාවේ නෑ. හැම මාසයකට චීනයට කන්න හාල් යවාපු රටක් මේක. මේක දැන් පරපෝෂිත රටක්. මේ යන්නේ පල්ලමකට. මේක රිවස් එකට ගන්න බෑ. හරවලා වෙනත් පාරකට දාගත්තොත් කන්ද නැගිය හැකියි.

හෙට දවසේ දේශපාලනය ගැන හිතලා අද දවසේ දේශපාලනය කළ යුතුයි. තාත්තාලාට සාධාරණය ඉටු නොකළ දේශපාලකයන් අද දේශපාලනයෙන් අතු ගෑවිලා ගිහින්. ගම්පහින් ඕනේනම් ඒවාට උදාහරණ සපයා ගත හැකියි. රෙජී රණතුංග දිවංගත ඇමතිතුමා ඒ අතින් වාසනාවන්තයි. මොකද එතුමා මිය ගිය දවසේ ඉදන් අද දක්වා අපේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා වාර්ෂිකව රෙජී රණතුංග ඇමතිතුමාගේ උපන්දිනය සමරනවා. මිය ගිය දවසේ දානමය පුණ්‍යකර්මයක් කරනවා. මාසික දානමය වැඩසටහනක් කරනවා. රෙජී රණතුංග මැතිතුමාගේ අඩීපාරේ යමින් ජනතාවට සේවය කරනවා.  රෙජී මහත්තයා දෙවියෙක් ලෙස සලකන මිනිස්සුන් මේ ගම්පහ ඉන්නේ. ගම්පහට විතරක් නෙමෙයි මුළු රටටම රෙජී රණතුංග වැනි දේශපාලනඥවන් අවශ්‍යයි. 

හිටපු ඇමතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු වු දිවංගත රෙජී රණතුංග මහතාගේ 12 වන ගුණ සමරුව අද (31) ට යෙදි තිබිණි. ඒ වෙනුවෙන් උඩුගම්පළ ඇවිදින මංතීරුව අසල පිහිටි රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වීම අද පෙරවරුවේ සිදුවිය. කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ එම මහත්මිය රෙජී රණතුංග සමරු ස්මාරකයට පුෂ්පෝපහාරය දැක්වූ අයුරු රෙජී රණතුංග මහතාගේ සොහොයුරු ඩැනී රණතුංග මහතාද ඡායාරුපයේ වේ.

RSL

Related Posts