මත්උවදුර තුරන් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

Spread the love

මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (22) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය.

අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා විසින් හමුව සංවිධාන කර තිබිණ. ජන හමුවට සහභාගී වූ මහචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි ඇතුළු මහා සංඝරත්නය ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.

ගංවතුරට ගොදුරුවන පෑලියගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් සහ පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකරන ලෙස ජනතාව කළ ඉල්ලීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. කිරිබත්ගොඩ රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉඩම් ගැටළු පිළිබඳව ද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නතර නොකරන ලෙස ද ඔව්හු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  සහ  අපේක්ෂක සිසිර ජයකොඩි මහතා මේ අවස්ථාවට එක්ව සිටියහ.

නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් විනාශයට පත්ව ඇති සියඹලාපේ හන්දිය අසළ ව්‍යායාම මංතීරුව ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. එය කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දියත උයන සංකල්පයට සමානව ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළහ.

බියගම වඩුවේගම සහ කොට්ටුන්න වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අක්කර 400කට අධික කුඹුරු අස්වැද්දිය හැකි බව අපේක්ෂක ඩුලීප් විජේසේකර මහතා බියගම සියඹලාපේ හංදියේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සමග ජනතාව පැවසූහ. දීර්ඝ කාලයක සිට ගමනාගමන මණ්ඩල බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොකිරීමෙන් සවස් කාලයේ මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ද ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා දළුපිටිය පාරේ උප තැපැල් කාර්යාලය අසළ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. එහිදි ද ජනතාවගෙන් ජනාධිපතිතුමාට මහත් හරසර හිමි වූ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළට ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.

අපේක්ෂක සහන් ප්‍රදීප් මහතා කඩවත පෞද්ගලික බස් නැවතුම්පොළ අසළ සංවිධාන කර තිබූ ජනහමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. මහර කඩවත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකර දෙන ලෙසත්, අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසත් රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

ඉටු කිරීමට කල්ගතවන ජනතා ඉල්ලීම් පසුව විමර්ශනය කොට අවශ්‍ය පියවර ගනු ලැබේ.

RSL

Related Posts