බන්ධනාගාර රැඳවියන් 2,961 දෙනෙකු ඇප මත මුදා හැරේ

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කෙරුණු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැරෙති. මාර්තු මස 17 වනදා සිට අද (04) දක්වා කාලසීමාවේදී මේ පිරිස නිදහස් කර තිබේ.

ජනාධිපතිවරටා බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට කමිටුව පත් කෙරිණ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුව රැඳවියන්ට සහන සැලසීමේ නිරීක්ෂණ ජනාධිපති ලේකම්ත වෙත ඉදිරිපත් කෙරිණ.

දඩ ගෙවා ගැනීමට නොහැකි, ඇප ලබාදී තිබුණ ද ඇප කොන්දේසි සම්පූර්ණ කරගත නොහැකි, ඉතා සුළු වැරදි වලට සිරගතවූවන් හා දඬුවම් කාලයෙන් වැඩි කොටසක් අවසන් කර ඇති, ඉතා බරපතළ සෞඛ්‍ය ‍‍හේතූන්ගෙන් පීඩා විඳින දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටින්නන් සහ ඇප ලබාදීමක් හෝ චෝදනා ගොනුකර නඩු විභාගයක් සිදුකර නැති සිරකරුවන් පිළිබඳව මෙහිදී සැලකිල්ලට ගත් බව නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.

බන්ධනාගාරවල සිරකරු ධාරිතාව  දස දහසකි. එහෙත් විසිහයදහසට අධික සිරකරු පිරිසක් සිටිති. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගෙන තිබිණ. මුදා හැරී පිරිස අධිකරණය ලබාදී ඇති සහනය කඩ නොකර, පනවා ඇති කොන්දේසි ඉටුකරමින් යහපත් අන්දමින් සමාජයේ හැසිරිය යුතු බවට අවධාරණය කෙරේ.

RSL

Related Posts