‘පුරුෂ කොන්ඩමය’ ගැන ඔබ දැනගත යුතු සියලුම කරුණු

Spread the love

ලංකාවේ සෑම දරු උපත් තුනකින්ම එකක් අනවශ්‍ය ගැබ් ගැනීමක් බව අප මීට පෙර ලිපියක සඳහන් කළා. එහිදී අපි පෙන්වා දුන්නේ නිවැරදි පවුල් සැලසුම් ක‍්‍රම හෝ උපත් පාලන ක‍්‍රම අනුගමනය නොකිරීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් හේතු වන බවයි. ඒ වගේම ඒඞ්ස් ඇතුළු සමාජ රෝග ව්‍යාප්තියත් වර්තමානයේ ප‍්‍රබල ගැටලූවක් බවට පත්ව තිබෙනවා.

මේ සියලූ කාරණාවලට තිරසර විසඳුමක් ලෙස ලෝකයේ ජනප‍්‍රියතම උපත් පාලන ක‍්‍රමයක් වන ‘පිරිමි කොන්ඩම්’ භාවිතය සැලකිය හැකියි. අනවශ්‍ය ගැබ් ගැනීම් හා සමාජ රෝගවලින් වැළකී සිටීමට මෙන්ම බියකින් හෝ සැකයකින් තොරව සංසර්ග ක‍්‍රියාව වඩාත් හොඳින් සහ සතුටින් සිදු කිරීමට කොන්ඩම් භාවිතයෙන් පුළුවන්.

ඒත් කොන්ඩම් භාවිතය ගැන නිවැරදි හා විශ්වාසනීය දැනුමක් බොහෝ දෙනකුට නැහැ. ඒ නිසා කොන්ඩම් භාවිතයට ඔවුන් වැඩි උනන්දුවක් දක්වන්නෙත් නැහැ. මේ සියලූ ගැටලූවලට විසඳුමක් ලෙස ‘පුරුෂ කොන්ඩම්’ ගැන පරිපූර්ණ දැනුමක් ඔබට ලබාදීමට අප තීරණය කළා. මේ ඒ ගැන …

පුරුෂ කොන්ඩමයක් යනු කුමක් ද?

රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවා ඇති කොපුවක් වන මෙය ශිෂ්ණය ප්‍රාණවත් වූ පසු එය වැසී යන පරිද්දෙන් පැළදීමෙන් එහි ඉහළ කෙළවරික් ශිෂ්ණයට සවිවන කුඩා කොපුවකි.

එය ක්‍රියා කරන්නේ කෙසේ ද? ‍

මෙය, ලිංගික ස්‍රාවයන් සහ පුරුෂ ශුක්‍රාණු කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වළක්වන බාධකයක් සේ ක්‍රියා කරයි. නියමාකාරයෙන් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. මෙය ගබඩා කල යුත්තේ හිරු එළියට නිරාවරණය නොවන පරිදි සිසිල්, වියළි ස්ථානයකයි.

මින් ලැබෙන වාසි මොනවා ද?

  • ලිංගික තෘප්තියට කිසිදු බාධාවක් ඇති නොකරයි.
  • ඉතා ආරක්ෂිත ක්‍රමයකි
  • HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂා කරවයි.
  • දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.
  • කිසිදු අතුරු ප්‍රතිඵලයක්(නරක) ඇති නොකරයි.
  • ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

  1. වරක් භාවිත කළ කොන්ඩමයක් නැවත භාවිත කළ නොහැකිවීම.
  2. ලිංගිකව එක්වන සැම වාරයකම අලුත් කොන්ඩමයක් භාවිත කිරීමට සිදුවීම
  3. සැමවිටම එය  ළග තබාගෙන සිටිය යුතු වීම
  4. කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවයක් ඇතිවිය හැකි වීම

භාවිතා කරන අන්දම

  1. පළමුවෙන් පැකට්ටුවේ සදහන් කර ඇති  කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
  2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙළවරෙන් පමණි. අනෙක් පැති වලින් විවෘත කරන්නට උත්සහ දැරුවහොත් කොන්ඩමය ඉරී තුවාල විය හැක.
  3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේ පමණි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වැළකී සිටින්න.
  4. කොන්ඩමය පැළදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
  5. කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙරය. ශුක්‍රාණු විසර්ජනය(පිටතට විදීමට) වීමට ප්‍රථම නිකුත්වන ස්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිණි.
  6. පැළදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
  7. කෙළවර බුබුල මිරිකා හරිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
  8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානි පැමිණීමට ඉඩ ඇත.
  9. එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එකම වතාවක් පමණි. එය නැවත වාරයක් භාවිත කළ නොහැක. නැවත වතාවකට යොදා ගත යුත්තේ අලුත් කොන්ඩමයකි.
  10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් පසු ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
  11. කොන්ඩමය පාවිච්චි කර ඉවත් කල පසු එය වළලා හෝ පුළුස්සා දැමිය යුතු අතර වැසිකිලිය තුලට හෝ තැන තැන දැමීම සුදුසු නොවේ. එනිසා එසේ කිරීමෙන් වැළකී සිටින්න.
  12. ලිංගික රසාස්වාදය වඩ වඩාත් තීව්ර කිරීමට හා වර්ධනය කිරීම‍ට විවිධාකාරයෙන් නිශ්පාදනය කර ඇති, (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම් හා‍ දැති සහ බුබුලු සහිත මතුපිටක්  සහිතව නිශ්පාදනය කර ඇති  කොන්ඩම්) කොන්ඩමයන් විවිධ මිල ගණන් යටතේ මිල දී ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව පවතී. නමුත් මේවාද වරක් පාවිච්චි කිරීමට ඉඩක් නොමැත.

පුරුෂ කොන්ඩමයක් පැළදිය යුතු ආකාරය

  • කොන්ඩමයට හානි නොවන ආ ප්‍රකාරයෙන් එය පැකට්ටුවෙන් ‍එළියට ගෙන කොන්ඩමයේ වැසුණු කෙළවර ඇතා පුඩුවේ රූපයේ පෙනෙන ආකාරයට ඇගිලි තුඩින් මිරිකා අල්ලා ගෙන විවරය සහිත පැත්තෙන් ශිෂ්ණය වැසී යන පරිදි පලදින්න.
  • එය ශිෂ්ණයේ ඉහළ කෙළවර තෙක් දිග හරිමින් අග ඇති බුබුලක් වැනි පුඩුවේ රැදී පවතින වාතය ඉවත් කර හරින්න.
  • කොන්ඩමය පැළදිය යුත්තේ ශිෂ්ණය හොදින් ප්‍රාණවත් වු පසුවයි.
  • ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය නැවත අප්‍රාණික වෙන්නට (පෙර තිබූ ස්වභාවයට පත් වෙන්න‍ට පළමු  කොන්ඩමය ශිෂ්ණ‍යෙන් ඉවත් කරන්න.ඉවත් කිරීමේදි එහි ඇති තරලය යෝනි මගෙහි තැවරෙන්නට ඉඩ නොහැරිය යුතුයි.
  • එමෙන්ම එය  ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසිකර දමන්න.

කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේද ?

  1. වැරදි හා අක්‍රමවත් භාවිතය
  2. හානියක් සිදුව ඇති කොන්ඩමයක් පැළදීම
  3. කොන්ඩමයේ වාතය යෑම හෝ ලිස්සා ගැලවී යාම වැනි හේතු මත

කොන්ඩම් කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

  1. නියපොතුවලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම
  2. වැඩි කාලයක් පවත්වා ගන්නා හෝ දැඩි ලිංගික සංසර්ගයන්
  3. බාල තත්ත්වයේ කොන්ඩම් භාවිතය
  4. වැරදි ආකාරයෙන් කොන්ඩම පැළදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම

කොන්ඩමය කැඩුන විට හා හෝ ගැලවී ගියහොත්

  1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
  2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
  3. සංසර්ගය දිගටම පවත්වා ගන්නට අදහස් කරයි නම් අලුත් කොන්ඩමයක් පළදින්න.
  4. ගර්භිණී වීම පිළිබද සැකයක් පවතී නම් එය සදහා පැය 72ක් ඇතුළත භාවිත කළ හැකි Postinor 2 වැනි හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
  5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් පවතී නම් නොපමාව වෛද්‍යවරයකු හමුවන්න

Text by –පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවිය

RSL

Related Posts