
තායිලන්තයේ GBT කණ්ඩායම් පවසන්නේ ඔවුන්ට තවමත් සමාජයේ සමාන අයිතිවාසිකම් නොමැති බවයි

සිය ගණනක් තායි සමලිංගික ක්‍රියාකාරීන් බැංකොක් අගනුවර පැවති ප්‍රජාතන්ත්‍රවාදී රැලියක් අතරතුර දේදුනු කොඩි ඔසවා තිබේ. ගැටුම් ඇතිවීම වළක්වා ගැනීම සදහා තායි රජය විසින් පොලිස් ආරක්ෂාව තර කර තිබුණේය.
සමලිංගික ක්‍රියාකාරීන් නගර මධ්‍යයේ නටමින් ගීත ගායනා කළ අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැත.
වත්මන් තායි ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් තරුණ කණ්ඩායම්වල නායකත්වයෙන් පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවක එක් පියවරක් ලෙස මෙම සම ලිංගික රැළිය සැලකේ.
තායිලන්තයේ වත්මන් අගමැති ජෙනරාල් ප්‍රයූත් චාන්-ඕචා 2014 දී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් අතර පසුව හමුදා විසින් පත් කරන ලද පාර්ලිමේන්තුව විසින් අගමැති ලෙස නම් කරන ලදී. තරුණ කණ්ඩායම් කාලයක සිට ඉල්ලා සිටින්නේ අගමැතිවරයා ඉල්ලා අස්වී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතු බවයි.
සෙනසුරාදා පැවති සමලිංගිකයින්ගේ රැලිය වර්ණවත් සිදුවීමක් විය

“අපි අද මෙහි පැමිණියේ ප්‍රධාන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාද ඉල්ලා සිටීම සඳහා යි. අප ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කරගත් පසු සමාන අයිතිවාසිකම් අනුගමනය කරනු ඇත,” තරුණ විරෝධතාකරුවෙක් රොයිටර් පුවත් සේවයට පැවසීය.
ඔහු කියා සිටියේ තායිලන්තයේ එල්ජීබීටී කණ්ඩායම්වලට තවමත් සමාජයේ සමාන අයිතිවාසිකම් නොමැති බැවින් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාවය යන දෙකම ඉල්ලා සිටින බවයි.
දශකයකට ආසන්න කාලයක් පවතින දේශපාලන ගැටුම් මධ්‍යෙය් තායිලන්තය කොවිඩ් වසංගතයට ද මුහුණ දී සිටින නමුත් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස තරුණ කණ්ඩායම්වල ඉල්ලීම් තීව්‍රර වෙමින් තිබේ.
වසංගත තත්ත්වය තුළ ආරක්ෂක පියවරක් ලෙස මහජන රැස්වීම් ආදිය සදහා රජය විසින් තහනමක් පනවා තිබුණ ද ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් එම තහනම නොකතා දිගින් දිගටම ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් සිටී.
බී.බී.සී. ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ