නාලක ගොඩහේවාට රෙදි නැතිව කඩේ යන ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණේ’ සෙළුව මෙන්න !

Spread the love

හොර මහාචාර්යවරු දෙන්නෙක් සහ හොර මාධ්‍යවේදියෙක් මුල්පුටුවල

තාත්තා – පුතා – ලේලි – මාමා සංවිධානයක්

යහපාලනේ අවපාලනයක් කළ රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේගේ (?) ලේලියක් විධායක කමිටුවේ

දේශපාලනයට ‘විද්වතුන් ඕනෑ’ කියන කතාවට සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළත් මිලක් තිබෙනවා. ඒ නිසා ජනතාව සමග සැප – දුක බෙදා ගනිමින්, දහසකුත් එකක් කැප කිරීම් කරමින් සිටි පූර්ණ කාලීන දේශපාලනඥයින් වෙනුවට ඊනියා ‘සහතික ලත් බුද්ධිමතුන් / විද්වතුන් දේශපාලන කරළිය තුළ බැබලීමට පමණක් නොව දියවන්නාව තරණය කිරීමටත් සිහින දකිමින් තිබෙනවා.

මේ ඊනියා විද්වතුන්ට කඬේ යාම සඳහා හෝ ගොට්ට ඇල්ලීම සඳහා පසුගිය කාලය තුළ විද්වතුන්ගේ සංවිධානත් හතු පිපෙන ආකාරයට බිහි වුණා. ඒ අතර එක් සංවිධානයක් වශයෙන් ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණ’ සැලකිය හැකියි.

සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගැනීම අරමුණු කිහිපයක් පෙරදැරිව සිදුවූ බව පසුගිය 16 වැනිදා පැවැති එම පෙරමුණේ මහා සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ ‘සලවිපෙ’ නම් සමරු කලාපයේ සටහන් වෙනවා.

‘සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගන්නා ලද්දේ අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙන බව පළමුවෙන්ම සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වෘත්තීය ආයතනවල සමාජිකයින් වන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, ගෘහ නිර්මාණශිල්පීන් සහ පරිගණක ශිල්පීන් ආදීන් තම තමන්ගේ වෘත්තීන්ට අදාළව සංවිධාන ගත වී කටයුතු කරණු ලබයි. එසේම රාජ්‍ය සේවයේ විශ‍්‍රාමික ජ්‍යේෂ්ඨ නිළධාරීන් බොහෝ විට පවතින සමාජ ක‍්‍රමය තුළ වෙන් වෙන්ව ක‍්‍රියාකාරීව කටයුතු කරති. තම තමන්ගේ වෘත්තීන්වලට ආවේනික නීති රීති පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ඇති මෙකී පිරිස එකම වේදිකාවකට කැඳවා රටේ ප‍්‍රගමනය සඳහා විශාල කාර්යභාරයක් සිදුකළ හැකි බව අප විශ්වාසයයි. සමස්ත ලංකා විද්වත් පෙරමුණ මෙකී අරමුණින් සංවිධාන ගතවී ඇත’ (පිටුව 10- සංස්කාරකවරුන්ගේ සටහන)

මේ සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගැනීමේ අරමුණ ගැන අදාළ පෙරමුණේ සංස්කාරකවරුන් තිදෙනා විසින් තබා ඇති සටහනයි.

මේ අරමුණ ඉතාම හොඳය. රටට වැඩදායකය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සාමාජිකයින් කවුද ? යන්නයි. ඔවුන් කුමනාකාරයේ විද්වතුන්ද යන්නයි.

කඬේ යන්නේ නාලක ගොඩහේවාට

සමස්ත ලංකා විද්වත් පෙරමුණ පසුගිය 16 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ. හිටපු ඇමති ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, එස්.බී දිසානායක සහ ආචාර්ය නාලක ගෙඩහේවා කැඳවා සිදුකළ දේශනවල හරය හෝ අරමුණ විය හැකිව ඇත්තේ මෙවර මහ මැතිවරණයට පොහොට්ටුවෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟවඳින ආචාර්ය නාලක ගොඩහේවාට සහාය පළ කිරීම / කඬේ යාම බව අමුතුවෙන් කිව යුතු නැත. (අගමැතිතුමා මෙම වැඩසටහනට සහභාගී වන බව සඳහන් වුව ද එතුමා පැමිණියේ නැත – අගමැතිතුමා මේ සදහා සහභාගී වන බව සදහන් කිරීම ජනමාධ්‍ය අවධානය දිනා ගැනීමේ ඊනියා සැලසුමක් පමණක් විය හැකිය)

ආචාර්ය නාලක ගොඩහේවා ඇතුළු මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඊනියා විද්වතුන් මේ ආකාරයේ අටවා ගත් සංවිධාන හරහා තම ප‍්‍රතිරූපය ඔසවා ගැනීමට තැත් කරන බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් මේ සැරසෙන්නේ ඊනියා විද්වත් බවක් සමාජය හමුවේ මවාපා ඡන්ද ගොඩ වැඩිකර ගැනීම බව පැහැදිලිය.

සමස්ත ලංකා විද්වත් පෙරමුණේ මහා සම්මේලනය වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපයට ආචාර්ය නාලක ගොඩහේවා විසින් ශුභ පැතුම් එක් කිරීම සහ දේශනයක් කිරීම මගින් ඒ බව මනාව පැහැදිලි වේ.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ නාලක ගොඩහේවාට කඬේ යන මේ සමස්ත ලංකා විද්වත් පෙරමුණ ඇත්ත වශයෙන්ම විද්වත් පෙරමුණක් ද ? යන්නයි. ඒ තුළ කටයුතු කරන්නේ මීට ඉහත සංස්කාරකවරුන් පවසන පරිදි විද්වතුන් වන වෘත්තීයවේදීන් ද යන්නයි.

සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලය

අදාළ සමරු කලාපයේ 16 වැනි පිටුවේ දක්වා ඇති ආකරයයට සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලය වන්නේ,

1 මහාචාර්ය ටියුඩර් වීරසිංහ,
2 මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ
3 මහාචාර්ය ආරියරත්න කලූආරච්චි
4 මහාචාර්ය මංගල සේනානායක
5 මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන් යන මහාචාර්යවරු පස් දෙනායි.

එහෙත් මේ ඊනියා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලයේ සිටින මහාචාර්යවරු දෙදෙනකු ‘සැබෑ මහාචාර්යවරු’ නොවීම ‘විද්වත් වංචාවකි’ නැතහොත් සාමාන්‍ය ජනතාව නොමග යැවීමකි. විද්වතුන්ගේ සහාය, දැනුම අපේක්ෂා කරන ජනාධිපතිවරයා නොමග යැවීමකි.

මෙහි මුලින්ම නම සඳහන් වන මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන් යනු මහාචාර්ය ධුරයක් හිමි අය නොවේ. හොරණ ශ‍්‍රී පාලි මණ්ඩපයයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් වන ඔවුන් දෙදෙනා ‘ආචාර්යවරුන්’ මිස මහාචාර්යවරුන් නොවේ.

මේ බව කොළඹ විශ්විද්‍යාලයේ ශ‍්‍රීපාලි මණ්ඩපයෙන් දැන ගැනීම අවශ්‍ය නොවන්නේ මෙම සමරු කලාපය සංස්කරණය කළ බව කියන ඊනියා සංස්කාරකවරුන් තිදෙනාගේ විද්වත්භාවය මනාව පැහැදිලි කරමින් ‘ගෝලීය සන්දර්භය තුළ ජාතික අර්බුදය හමුවේ අප කළ යුත්තේ කුමක්ද ’ යන (පිටුව 21) ලිපියේ රචකයා ලෙස එහි අවසානයේ (පිටුව 29) සඳහන් වන්නේ ‘ආචාර්ය ටියුඩර් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ‍්‍රීපාලි මණ්ඩලය, කොළඹ විශ්වවිද්‍යාලය’ ලෙසය.

සංස්කාරකවරුන්ගේ ඊනියා විද්වත්කම තව දුරටත් හෙළිකරමින් මෙම සමරු කලාපයේ 37 වැනි පිටුවේ ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණෙහි මහා සම්මේලනයට අපේ සුබ පැතුම්’ මැයෙන් ලබාදී ඇති අනුග‍්‍රාහක දැන්වීමේ සටහන් වන්නේ ‘ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ආචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන්’ යනුවෙනි.

ආචාර්ය ධුරයක් ඇති අයෙකු මහාචාර්යවරයෙකු ලෙස හැඳින්වීම සම්පූර්ණයෙන් වරදක් වන අතර ජනතාව හෝ මේ ඊනියා සංවිධානවල අනුහස ගැන සතුටට පත්ව සිටින පාලකයින් නොමග යැවීමකි. අදාළ සංවිධානවලට අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය කර ගැනීමකි.

මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ආණ්ඩුකිරීමට උපදෙස් දෙන්න යන මේ ඊනියා විද්වතුන් තම මහා සම්මේලනය වෙනුවෙන් මුද්‍රණය කළ සමරු කලාපයේ තම සෙළුව අවශ්‍ය ප‍්‍රමාණයට වඩා නිරාවරණය කිරීමය.

සමස්ත ලංකා විද්වත් පෙරමුණේ විද්වතුන්ගේ පැටිකිරිය

සමස්ත ලංකා විද්වත් පෙරමුණ පිහිටුවා ගත්තේ රාජ්‍ය පාලනයට අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට විද්වත් වෘත්තිකයින්ගේ දැනුම සහ අත්දැකීම් ලබා දීමට බව එහි සංස්කාරක සටහනේ සටහන් වේ.

එහෙත් ප‍්‍රශ්නය වන්නේ සමස්ත ලංකා විද්වත් පෙරමුණේ විද්වතුන් අතර, ‘විද්වතුන්’ නොවීමය. අවම වශයෙන් අදාළ විෂය පිළිබඳ කිසිඳු ආකාරයක වෘත්තීය සුදුසුකමක් ඇති (මේ බව මේ කුඩා සමරු කලාපය උඩින් පල්ලෙන් බලන විට පවා පැහැදිලි වේ. එසේ නොවේ නම් ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ ප‍්‍රකාශයේ අවසානයට සඳහන් නම (පිටුව 07) ගරු. එස්.බී. දිසානයක වන්නේ නැත)

මෙම සමරු කලාපයේ 16 වැනි පිටුවේ සඳහන් වන පරිදි සමස්ත ලංකා විද්වත් පෙරමුණේ උපදේශක මණ්ඩලයේ සිටින ඊනියා මහාචාර්යවරුන් දෙදෙනා සේම සංස්කාරක මණ්ඩලයේ ද ඊනියා මාධ්‍යවේදියෙක් සිටී.

අදාළ මහා සම්මේලනය පැවැත්වූ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සංවර්ධන සහකාරවරයෙකු (උපාධිධාරියෙකු නොවේ) වන ‘මාධ්‍යවේදී. කේ.ඒ.සී. පෙරේරා’ අප කළ සොයා බැලීම්වලදී මාධ්‍ය ආයතනයක පස්පෑගුවෙකු ද නොවේ.

එසේම එහි විධායක සභාව නියෝජනය කරන ‘ඉන්ධීවරී දිසානායක’ මිය ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ප‍්‍රවෘත්ති හා ප‍්‍රකාශන නිලධාරිනියක් පමණකි (ඇය කනිෂ්ඨ නිලධාරිනියකි)

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය භාර රාජ්‍ය අමාත්‍යවරයා වූ වසන්ත අළිවිහාරේ මහතාට ඥාතී සම්බන්ධයක් ඇති බව කියන මෙම ඊනියා විද්වත් කමිටු සාමාජිකාවගේ සැමියා වන්නේ මීට ඉහත නම සඳහන් කළ සංස්කාරක, මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරා වීම ද අවධානයට ගත යුත්තකි.

රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල විද්වතුන්ගේ පෙරමුණක් බව කියන එකක මොවුන් දෙදෙනා (අඹු සැමියන්) මහා විද්වතුන් වන්නේ කෙසේද යන්න වෙනම වටහා ගත යුත්තකි.

පවුල් හවුල

මේ අවුල විසඳා ගැනීම කිසිසේත් අසීරු නොවේ. ඒ සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.ඒ ගුණදාස පෙරේරා හඳුනා ගත් පසු ඉහළ සංස්කාරකවරයා සහ විධායක කමිටු සාමාජිකාවගේ ඥාතීත්වය පහසුවෙන් හඳුනා ගත හැකිය.

සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ප‍්‍ර‍්‍රධාන ලේකම්වරයා වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.ඒ. ගුණදාස පෙරේරාගේ පුත‍්‍රයා වන්නේ මෙම පෙරමුණේ සංස්කාරකවරයා වන උසස් පෙළ පමණක් සමතෙකු වන ඊනියා මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරාය.

එවිට අපට ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සැබෑ තත්ත්වය පහසුවෙන් වටහා ගත හැකි වේ.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය ටියුඩර් වීරසිංහ ප‍්‍රධාන ලේකම්වරයාගේ ඥාතියෙකු වන අතර සංස්කාරකවරයා ඔහුව හඳුන්වන්නේ ‘මාමා’ ලෙසය.

එසේ නම් ඊනියා සමස්ත ලංකා විද්වත් පෙරමුණේ ඥාතී සම්බන්ධතාව පහසුවෙන් වටහා ගත හැකිය.

ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන්ට කඬේ යන සමස්ත ලංකා විද්වත් පෙරමුණ ගැන මීට වඩා යමක් ලිවිය යුතු නැත. එහෙත් මේ ඊනියා විද්වතුන් ගැන තව දුරටත් හෙළිකරමින් මෙම පෙරමුණේ මාධ්‍ය ලේකම්වරයා බව කියන ප‍්‍රවීන මාධ්‍යවේදී චන්දන විජේකෝන් ගැන ද යමක් සඳහන් කළ යුතුය. උපාධිධාරියෙකු නොවන චන්දන විජේකෝන් දිනමිණ පුවත්පතේ උප කර්තෘවරයෙකු පමණක් වන බව සඳහන් කළ යුතුය.

අවසානය

මෙහි ඇති වඩාත්ම හාස්‍ය ජනක මෙන්ම බියකරු තත්ත්වය වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සේවකයින් දෙදෙනකු වන ඉන්ධීවරී දිසානායක සහ ඇයගේ සැමියා වන කේ.ඒ.සී. පෙරේරා යන දෙදෙනාම පසුගිය යහපාලන ආණ්ඩු සමයේ එම ආයතනය භාරව කටයුතු කළ වසන්ත අළුවිහාරේගේ ඍජු දේශපාලන පත්වීම් ලාභීන් වීමයි.

අනෙක් අතට යහපාලන ආණ්ඩු සමයේ තම ඇමති මාමාගේ අනුහස ගෙන අදාළ කණිෂ්ඨ නිලධාරිනිය ආයතනය තුළ බලාධිපත්‍යක් පවත්වා ගෙන යාමයි. එවකට තම පෙම්වතා වන සමස්ත ලංකා විද්වත් පෙරමුණේ සංස්කාරකවරයකු වන මාධ්‍යවේදී කේ.ඒ.සී. පෙරේරාගේ පත්වීම ස්ථිර කර ගැනීමට (මොහු අදාළ ආයතනයට පැමිණ ඇත්තේ තම පියාගේ බලපෑම්වලින් අනියම් සේවයෙකු ලෙසය)

මේ වන විට මෙම විධායක කමිටු සාමාජිකාව තම සංස්කාරක සැමියාගේ සහ ප‍්‍රධාන ලේකම් මාමාගේ දේශපාලන අනුහස ගෙන යහපාලන සමයේ මාමා ඇමැතිකම් කළ සමයේ හැසිරුණු ආකාරයෙන් හැසිරෙමින් සිටින අතර එය ආයතනයේ සමස්ත පාලනයට ද බරපතළ තර්ජනයක් වී ඇත.

නාලක ගොඩහේවාට කඬේ යන්නේ මේ විද්වතුන් හා විද්වතියන් නම් ගෝඨාභය රාජපක්ෂ – මහින්ද රාජපක්ෂ – ප‍්‍රසන්න රණතුංග ආදී දේශපාලනඥයින් කළ කී සියල්ල වතුරේ යන බව පැහැදිලිය. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් සේම ජනතාව ද මේ ඊනියා විද්වතුන් හා ඔවුන් වෙනුවෙන් අටවා ගත් මේ ඊනියා විද්වත් සංවිධාන ගැන වඩාත් ප‍්‍රවේශම් විය හැකිය.

මන්ද දේශපාලන කටුස්සන් වන තාත්තලා – පුතාලා – ලේලිලා විසින් තම පැවැත්මට අටවා ගත්, ආචාර්යවරු මහාචාර්යවරු කරන, මාධ්‍යවේදීන් සිටින මෙම සංවිධානවල සැබෑ අරමුණ කිසිසේත් අවංක නොවන නිසාය.

සටහන – මහාචාරිය කඩේගෙදර විද්වතී අළුවිහාරේ

RSL

Related Posts