පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් විසින් අද (09) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබෙනවා.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙත්සම්කරුවන් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බවයි.
එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතවූ බැවින් එය ලබන ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයිද මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව ද පෙන්වා දෙන පෙත්සම්කරුවන් වැඩි දුරටත් සදහන් කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවයි.
මෙහිදී සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය තවමත් පාලනයකට නතු වී නොමැති හෙයින් මෙම අවස්ථාවේදී මැතිවරණයක් පවත්වනු ලැබූවොත් ජනතාවට නිදහසේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි වනු ඇති බවයි. ඒ හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය ඇහිරී යනු ඇතැයි ද එහි වැඩි දුරටත් සදහන් වෙනවා.
මෙහිදී තම මූලික අයිතිවාසිකම් කඩවන ආකාරයට පැහැදිලි කරමින් පෙත්සම්කරුවෝ පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් තමා ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.