ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි නියෝග

Spread the love

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි.

එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනපතිවරයා කියා සිටී.

මෙවර මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිත කරන බවටත් යුධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවටත් විවිධ පත්වීම් ලබාදෙන බව  ප්‍රකාශ කරන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා සියලු ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ සෙසු අංශ ප්‍රධානීන් වෙත අද (01) යැවූ ලිපියක සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිතුමාගේ ඡායාරූපය භාවිත නොකරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයා ලේකම්වරයාට නියෝග කර තිබේ.

සියලු රාජ්‍ය සේවකයන් මේ උපදෙස් පිළිපදින බවට වගබලා ගන්නැයි ජනාධිපති ලේකම්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිටද පිටපතක් සහිතව, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් වෙත යැවු ලිපියෙන් කියාසිටී.

RSL

Related Posts