චොකා මල්ලි පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ගැන ‘නීතිපති හා ආණ්ඩුවේ ප්‍රබලයින්’ ගැටෙති

Spread the love

මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය භාවිත කිරීමට නොහැකි යයි නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට, අධිකරණ අමාත්‍යාංශයට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට සිය මතය දැන්වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මාධ්‍ය සම්බන්ධීකාරකවරිය, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

“ප්‍රේමලාල් ජයසේකර යන අය මරණ දණ්ඩනයකට යටත්ව ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට හෝ ජන්දය ලබාදීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපති තුමාගේ මතය 2020/8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම් වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයා වෙතත් සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වරයා වෙතත් දන්වා යව තිබෙනවා,” යනුවෙන් ද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළාය.

“මරණ දඬුවමට යටත් වූ චුදිතයෙකු හට අභියාචනයකට යටත්ව ඇප ලබාදීමට කිසිදු නීතිමය තත්වයක් නෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333, 4 වගන්තියට යටත්ව මරණ දඬුවමට ලක් ව අභියාචනයකට යටත්ව සිටින චුදිතයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වෙන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා.”

කතානායක නියෝගය

ඇය වැඩිදුරටත් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91/1 (අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව යම්කිසි තැනැත්තෙකු 89 වන අනු ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසු කමකට යටත් වේනම් නැතහොත් එවන් නුසුදුසු කමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් පත්කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ජන්දය දීමට සුදුස්සෙකු නොවන බවය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඈ) අනු ව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දණ්ඩනයට යටත්ව සිටීනම් එය ඔහුගේ ජන්ද බලය පවා අහිමි වීමට හේතුවන කාරණයක් බවය.

මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් ජල සම්පාදන අමාත්‍යය වාසුදේව නානායක්කාර පැවසුවේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු එන්නේ ද, නැද්ද යන්න නීතිපතිවරයාට තීරණය කළ නොහැකි බවයි.

පසුගියදා පැවති මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පහසුකම් සපයන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සතියේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

දැනට මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර මනාප ඡන්ද 142,037 ක් ලබාගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත්විය. එහෙත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දිය හැකිද, නැද්ද යන්න අවධානයට ලක්විය.

2015 ජනාධිපතිවරණයේ දී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

තේරී පත්වූ මන්ත්‍රී වරුන්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයේ ඔහුගේ නම ද ඇතුළත් වීමත් සමගම ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර දෙන මෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙයට පෙර දැනුම් දී ඇතැයි වාර්තා පළවිය. කෙසේ වුවත් පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දීමට ඔහුට මෙතෙක් අවස්ථාව ලැබී නැත.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කථානායකවරයාගේ අවධානයට යොමු කරමින් පැවසුවේ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සැසිවලට සහභාගි නොහැකි වීම, ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ ජනතාවගේ පාර්ලිමේන්තුවේ නියෝජනය අහිමි කිරීමකට සමාන බවය. තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් නොමැති බවත් ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

“ඔහු අභියාචනාධිකරණයේ නඩුව ජය ගනු ඇතැයි සිතමු. නමුත් එතෙක් ඔහුට ඡන්දය දුන් ජනතාව මෙහි නියෝජනය නොවේ. එය විශාල අනතුරකි. පාර්ලිමේන්තු ක්‍රියාවලිය අධිකරණ නියෝගයකට බැඳී නොමැති බවට 2001 ජුනි 20 වන දින හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා විසින් එවැනිම කාරණයක් සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මම සභාපතිවරයාගේ අවධානයට යොමු කරමි,” යනුවෙන් ද ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පැවසීය.

RSL

Related Posts