ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති

Spread the love

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි. 

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. 

කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මොණරාගල දිස්ත්‍රික් චාරිකාව තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගණයෙන් ඇරඹිණ. 

අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා, විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විසින් එහිදී රාජපක්‍ෂ මැතිතුමා  පිළිගනු ලැබිණ.

විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගයමින් සුලෝචනා සංදීපනී ශිෂ්‍යාව කතාවක් කළාය. ගොඩනැගිලි සහ පානීය ජලය ඇතුළු අඩු පාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකරන්නැයි ජනාධිපතිතුමා එහිදී යුද හමුදාපතිවරයාට දැනුම් දුන්නේය.

RSL

Related Posts