
බෝගයන්ට හානිකරන පලිබෝධකයින් අතර වටපනුවන් හෙවත් නෙමටෝඩාවන් වැදගත් තැනක සිටියත් කලෙකට ඉහතදී ඒ ගැන වැඩිපුර කතාකරනු ලැබුවේ නැත. පණ ඇති සතෙකුගේ හානියක් සිදුවෙනවා පිටතින් නොදකින නිසා වගාකරුවන් ඇතැම්විට එතරම් උනන්දුවෙන් රෝගය හඳුනාගන්නට හෝ මර්දන පිළිවෙත් හඹායන්නට හෝ උනන්දු වන්නේද නැත.

එසේ නමුත් 80 දශකයේ මුල් භාගයේදී ලංකාවේ අර්තාපල් වගාවට පැතිරීගිය රන්වන් කෝෂ්ඨ වටපණු හානිය නිසා ඇතැම් වගාබිම් සැලකියයුතු කාලයකට පුරන්ව තැබීමටත්, ගොවීන්ව අර්තාපල් වගාවෙන් ඈත්කර, වෙනත් විකල්ප බෝග වෙත යොමු කරන්නටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සිදුවුනි. වර්තමානයේදී වී, එළවලු හා පලතුරු අතරින් විශේෂයෙන් පේර වගාවන්හි සිදුවන වටපණු හානිය නිසා විශාල අස්වැනු හානියක් සිදුවන්නේය. සිහින් කෙඳි වැනි මෙම පණු විශේෂය පිරිසිදු හෝ ලවන සහිත ජලයේ සහ පස තුල ජීවත්වේ.
මෙම පනුවන් ශාක තුලට ඇතුළුවී අභන්තර පරිවහන පටක අවහිර කිරීම හේතුවෙන් ශාකය කුරුවීම, මැලවීම, කහපැහැ වීම, මුල්වල ගැටිති සෑදීම වැනි දෑ රෝග ලක්ෂණ ලෙස පිටතට ප්‍රකාශ වන අතර, වාර්තාගත තොරතුරු වලට අනුව සපුෂ්පක ශාක 2000 කට වැඩි ගණනක් මුල්වල ගැට සාදන නෙමටෝඩාවන්ගේ අසාදනයට පාත්‍රවන බව සොයාගෙන තිබේ. මේ වනවිට වී වගාවේ වටපණු හානියද ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින නිසා නොපමාව මර්දන පිළිවෙත වලට යොමුවීම අත්‍යවශ්‍ය කරුණකි.

වටපණු හානිය මර්දනය කිරීම සඳහා කෘෂි විද්වතුන්ගේ නිර්දේශය වන්නේ ඒකාබද්ධ මර්දන ක්‍රමවේදයයි. මින් අදහස් වන්නේ ක්‍රමෝපායයන් කීපයක් එකාබද්ධව අනුගමනය කිරීමෙන් හානිය අවම කර ගැනීමය. මේ සඳහා නෙමටෝඩාවන්ට ගොදුරු නොවන බෝගයක් මාරුවෙන් මාරුවට යම්කිසි භූමියක වගාකරමින් සිදුකරන බෝගමාරුව එක ප්‍රතිකර්මයකි. කාබනික ද්‍රව්‍ය හැකි පමණ පසට එකතුකිරීම තවත් ප්‍රතිකර්මයකි. කාබනික ද්‍රව්‍ය වැඩිවෙන තරමට මූලමණ්ඩලය අවට පරිසරයේ අජීවී ද්‍රව්‍ය මත පෝෂනයවන මෘතෝපජීවී ක්ෂුද්‍රජීවී ගහනය වැඩිවේ. එවන් තත්වයක් යටතේ වටපනුවන් වැනි ජීවීන්ට තම සංඛ්‍යාව වැඩිකර ගැනීමට ඇත්තේ දැඩි තරඟකාරී බවකි.

මෙහි වක්‍ර වාසිය සැලසෙන්නේ ශාක මුල් පද්ධතියටයි. කාබනික ද්‍රව්‍ය වැඩි පසකදී වටපනු හානිය අවම වන්නේ මේ නිසාවෙන්ය. මීට අමතරව ඇතැම් පාංශු ජීවීන් මූලගැටිති සාදන නෙමටෝඩාවන් මත යැපෙන නිසාද ඔවුන්ගේ ගහනය පසතුල පාලනය වෙනවා විය හැකිය. කාබනික පොහොරක් ලෙස කුකුල් පොහොර හොඳ ප්‍රතිකාරකයකි. ඒවා යොදනවානම් නොදිරූ අලුත් පොහොර තෝරාගත යුතු අතර ඉන් නිකුත්කෙරෙන ඇමෝනියා වායුව වටපනුවන්ට විෂ සහිතය. මීට අමතරව අමු කුකුල් පොහොර වලින් නිකුත් කෙරෙන ඇතැම් සංයෝග වටපනුවන් විකර්ෂණය කරවයි. නමුත් වගාවට හානියක් නොවීම පිණිස අලුත් කුකුල් පොහොර යෙදිය යුත්තේ වගාව පිහිටුවීමට සති දෙකකටවත් කලින් වන අතර එය පස සමග හොඳින් මිශ්‍රකල යුතුවේ. ඉහත සඳහන් කල ඒකාබද්ධ පියවරයන් සම්පූර්ණ කිරීමට නම් පසට රසායන ද්‍රව්‍යයක් යොදා පනුවා විනාශ කිරීමද ක්‍රමවේදය තුලට ඇතුලත් කලයුතු නමුත්, නෙමටෝඩාවන්ටම නිර්දේශ කරනලද පළිබෝධනාශකයක් මෙතෙක් නිකුත් කර තිබුනේ නැත. එම අඩුව සපුරාලමින් පසුගිය දිනෙක වටපණු නාශක දෙකක් වගාබිම් සඳහා නිර්දේශ කරන්නට යෙදුනි.
මින් එකක් වන්නේ ඇබමෙක්ටින් (Abamectin 20 SC) ය. ටර්විගෝ (Tervigo) යන වෙළඳ නාමයෙන් එය බෙදාහැරේ. ඒකාබද්ධ නාශන ක්‍රමවේදයට මෙය ඉතා හොඳින් ගැලපෙන බව සඳහන් කරන්නේ ගන්නොරුව උද්‍යාන විද්‍යා පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත මහතායි. ‘ෆ්ලුපයිරම්’ (Fluopyrum 400 SC) යන රසායන නම සහිතව ‘වෙලම්’ (Velum) යන වෙළඳ නමින් ගොවියා අතරට පැමිණෙන වටපණු නාශකය නිර්දේශ කල දෙවැන්න වේ.
විශේෂයෙන් මූල ගැටිති සාදන වටපනුවන් මර්දනය සඳහා මෙය පසතුල වැඩි කලක් පැවතෙමින් ක්‍රියාකරන සංයෝගයක් බවට එය හඳුනාගෙන තිබේ. මේ සියලු සංයෝග සංස්ථානික පළිබෝධනාශක නොවේ. පනුවන් නැසීමට නම් සත්වයා හා ස්පර්ශ විය යුතුමය. ඒ නිසා සියලු ක්‍රියාකාරකම් ඉලක්කගත විය යුත්තේ වටපණුවා ශාකමුලට ඇතුල්වීමට කලින් පනුවා විනාශ කිරීමට හෝ ඇතුල්වීම අවහිර කිරීම වෙතටය.
කාබනික පොහොර භාවිතයේ වැදගත්කම පිළිබඳව අප නිරන්තරයෙන්ම අවධාරණය කරන්නෙමු. අංශුමාත්‍ර මූලද්‍රව්‍යයන් සපයනවාට අමතරව කාබනික පොහොර විසින් රෝග හා පලිබෝධ පාලනය උදෙසා ලබාදෙන දායකත්වය පෙන්වීමට කාබනික පසක් තුල සාර්ථකව වටපණු හානිය පාලනය කිරීමට හැකිවීම හොඳ උදාහරණයකි. එබැවින් කාබනික පොහොර භාවිතය වැඩිකරමු. ඒකාබද්ධ වටපණු මර්දනය ඔස්සේ බෝගයේ ආරක්ෂාව තහවුරු කරගනිමු.
තාක්ෂණික කරුණු : ප්‍රභාත් නිශාන්ත , කීට විද්‍යාඥ, ස.කෘ.අ. උද්‍යාන බෝග
සටහන – සනත් එම්. බණ්ඩාර