එජාප මන්ත්‍රීවරු මේ වලිකන්නේ තමන්ගේ විශ්‍රාම වැටුප රැක ගන්නයි – ඇමැති ප්‍රසන්න

Spread the love

කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව රැස්කර ගැනීමට අලි, කොටි, නරි හවුල මේ කුමණ්ත්‍රණය කරන්නේ ජනාධිපතිවරයා ගෙන යන ජනතාවාදී වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමට යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ හොර පාරෙන් බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි.

මෙලෙස මැතිවරණ මග හරින්නේ ජනතාවට මුහුණ දීය නොහැකි අය බවත් එවැනි අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කිය මිස අන් කිසිවක් නොවන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා රාජ්‍ය නොවන සංවිධාන කීපයක් මහ මැතිවරණය කල් දමන ලෙසටත් පැරණි පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙසටත් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ අද එජාපය, ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය කොක්කෙන් හෝ කෙක්කෙන් මහ මැතිවරණය කල් දමාගෙන පැරණි පාර්ලිමේන්තුව කැදවාගෙන නැවත බලය ලබා ගැනීමේ කූට කුමන්ත්‍රණයක නිරතව සිටිනවා. වසංගතය පැතිර යාම වැලක්වීම සදහා කැදවා ඇති මහ මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගත යුතු බවයි ඔවුන් කියන්නේ. මේ කොරෝනා පාලනය කිරීමට තීන්දු තීරණ ගැනීමට අද පරණ පාර්ලිමේන්තුවක් කැදවිය යුතු නෑ.

මේ  වන විට ලෝකයේ ප්‍රබල රටවල් වලට වඩා ලංකාවේ හොදින් මේ කොරෝනා වසංගතය පාලනය කරන්න අපිට හැකියාව  ලැබී තිබෙනවා. පැරණි පාර්ලිමේන්තුව රැස්වුනා කියලා මෙහි වෙනසක් වෙන්නේ නෑ. ඒක අපි අත්දැකීමෙන් දන්නවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කරපු දියාරූ පිළිවෙල අපිට අමතක නෑ.

එදා බුද්ධි අංශ සියලුම තොරතුරු දීලා තියෙද්දී ඒ ගැන නොසලකා හැරලා ජනතාව මරා දමන්න උඩගෙඩි දුන්නු අය අද කොරෝනා  පිට දාලා මැතිවරණය කල් දාලා අර රටට කිසිම පලක් නැති වුන පැරණි පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න හදනවා. සුමන්දිරම් වගේ අය තමයි මෙහි පෙරමුණේ ඉන්නේ.

මේ රටේ ජනතාව එදා තිබුන ඒ පාදඩ යහපාලන ආණ්ඩුව ප්‍රතික්ෂේප කලා අවස්ථා දෙකකදී. එකක් පාලාත් පාලන මැතිවරණය. අනික ජනාධිපතිවරණය. රටේ ජනතාව ඉල්ලුවේ අලුත් පාර්ලිමේන්තුවක්. අලුත් ආණ්ඩුවක් මේ රට අරාජිත කරපු මේ රට විනාශ කරපු ආණ්ඩුවක සාමාජිකයන් නැවත පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා  මේ කෑමොර දෙන්නේ ඇයි. මොනවද මේ අය කරන්න හදන්නේ. මේ අය වැඩ කරන්නේ පිටරට පදයට. ඒ අයට ඕන කරන විදියට රට රූකඩ රාජ්‍යයක් බවට පත් කරන්න අවශ්‍ය නීති රීති  ගේන්න මේ අය හැදුවා. JVP එක රාජපක්ෂලාට බනින එක හැර මොනවද කලේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ UNP එකට. ඒ අයට පුළුවන් පාර්ලිමේන්තුවේ යෝජනා ගෙනල්ලා සම්මත කරලා ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට බාධා කරන්න.

අනෙක් කරුණ තමයි මේ පසුගිය පාර්ලිමේන්තුවේ එජාපයේ හුගක් අලුත් මන්ත්‍රීරුන් හිටියා. ඒ අයට හිමි විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්ක අහෝසි උනා. දැන් නැවත ඒක ගන්නෙඑකත් මේ කුමන්ත්‍රණයේ යටි අරමුණක්. මොකද මේ අය හුගකට අයේ පාර්ලිමේන්තුවේ පස් පාගන්න ලැබෙන්නේ නෑ කියලා මේ අය දන්නවා. මේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස, දීමනා ටික ගන්නයි මේ එජාපය, ජවිපේ හා ටීන්ඒ හවුල උත්සහා කරන්නේ.

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතුමා බලයට පත් වෙලා මාස 04 ගත වෙලා. එතුමාගේ රට ගොඩනගන වැඩ පිළිවෙල නිවැරදිව ක්‍රියාත්මක කරන්න එවකට පැවති ආණ්ඩුව ඉඩ නොදුන් නිසයි ජනතාවට අලුත් ආණුඩුවක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් කැදවූයේ. අනපේක්ෂිත වසංගතය හමුවේ මේ දේශද්‍රෝහි තුන් හවුල් නඩය හදන්නේ බොරදියේ මාලු බාලා සිය අරමුණ ඉටු කරගන්නයි.

ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න බැරි කරලා ඔහු බිත්තියට හේත්තු කරන්නයි විපක්ෂය උත්සාහ කරන්නේ. අපි මැතිවරණයකට යනවනම් යන්නේ රටේ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලයි. දකුණු කොරියාවේ කොරෝනා වසංගතය දරුණු තත්ත්වයක තිබුණා. නමුත් මැතිවරණය තිබ්බා. අපටත් ඒ විදියට මැතිවරණය තියන්න පුළුවන්. ජනතාවට එපා වුණ දේශද්‍රෝහින් පලවා හැරලා ජනතාවට අවශ්‍ය අය පත් කරන්න ජනතාවට ඉඩ ලබා දීය යුතුයි. ඊට එරෙහි වෙන්නේ, මැතිවරණය කල් දමා පැරණි පාර්ලිමේන්තුව කැදවා ගන්නට උත්සහා කරන්නේ ජනතාව ඉදිරියට යා නොහැකි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන අමනයින්. මේ අයට හිමිවන්නේ දේශපාලන කුණු බක්කි මිස අන් කිසිවක් නොවේ. ”

RSL

Related Posts