ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය විසින් ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවතී සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.
අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භයේ දී ඇය අග්‍රාමාත්‍ය තුමන් හට සුභ පතන ලදී. නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ “පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්” මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි.
” අපි නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා” තානාපති තුමිය පැවසීය.
නව රජයේ ප්රමුඛතාවයන් පිළිබඳ කළ විමසීමට පිළිතුරු වශයෙන්, කොවිඩ් 19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවය වී ඇති බව අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවේ කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් “ලද ජයග්‍රහණය වෙනුවෙන් රජය නිසැකයෙන්ම ප්‍රශංසාවට ලක් විය යුතුය” යනුවෙනි. එය “අති සාර්ථක කතාවක්” වශයෙන් ද හැඳින්වීය. ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා උදව් කිරීමද ඇතුළුව එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තහවුරු කිරීම ද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව ඇය සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා ද යෝජනා කරන ලද්දේ රැකියා අවස්ථාවන් සඳහා තරුණ ප්‍රජාව මනා ලෙස සුදානම් කිරීම සඳහා දිවයින පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට එක්සත් ජනපද සහාය ලබා දීම මනා කරුණක් වන බවය. “අවස්ථාවන් බොහෝ තිබෙනවා” තානාපති ටෙප්ලිට්ස් මහත්මිය පැවසීය. විශේෂයෙන්, හොඳින් උගත් ශ්‍රම බලකායක් පැවතීම ශ්‍රී ලංකාවට ඇති ප්‍රබල වාසියක් බව ද එතුමිය පැවසීය.
සංවර්ධන ක්ෂේත්රය පිළිබඳ සාකච්ඡා කරමින්, අග්‍රාමාත්‍ය රාජපක්ෂ මහතා විසින් තානාපති තුමිය හට දන්වන ලද්දේ ජනගහනයේ ඇතැම් කොටස්වලට හා රටේ ඇතැම් ප්‍රදේශවලට මුලික පහසුකම් නොමැති බවයි. රටේ ඇතැම් ප්‍රදේශවලට සුරක්ෂිත පානිය ජල අවශ්‍යතාවය පවතින බවත්, නිදන්ගත වකුගඩු රෝගය සඳහා අනාරක්ෂිත පානීය ජලය ප්‍රධාන හේතුවක් වී ඇති බවත් අග්‍රාමාත්‍යතුමා පැවසීය.
සාකච්ඡා කළ අනෙකුත් කරුණු අතර ශ්‍රී ලංකාවට නව ආයෝජන රැගෙන ඒම, ප්රජාතන්ත්රවාදී ආයතන හා පාලනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම, ප්‍රති-ත්‍රස්තවාදය, මිනිස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙන්ම අන්තර්ජාතික අපරාද සඳහා පිළියම් යෙදීම සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කරවන ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාවය යන කරුණු ද ඇතුළත් විය.