
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වසර හතරක කාලයක් ධවල මන්දිරයේ රැදී සිටී දැයි එරට ඡන්දදායකයින් ලබන නොවැම්බර් මස 3 වෙනිදා තීරණය කිරීමට නියමිතය.
රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට දැන් අභියෝග කරන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ නාම යෝජනා ලද ජෝ බයිඩන් ය. ඔහු වඩාත් ප්‍රකටව හඳුනා ගැනුණේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ උප ජනාධිපතිවරයා වශයෙන් වුවද බයිඩන් 1970 ගණන්වල සිට ඇමෙරිකානු දේශපාලනයේ නිරතව සිටින්නෙකි.
මැතිවරණ දිනයට ළඟාවත්ම, තමන් කුමන අපේක්ෂකයාට කැමැත්තක් දක්වන්නේ දැයි යන ප්‍රශ්නය ඡන්දදායකයින් වෙතට යොමු කරන මත විමසුම් මෙහෙයවන සමාගම් ඒ තුළින් රටේ පවතින ස්වභාවය මැන බැලීමට උත්සාහ දරති.
ඔවුන් ක්‍රියාත්මක කරන මත විමසුම් දෙස මෙහිදී අවධානය යොමු කරන අපි, මැතිවරණය දිනනු ඇත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ඔවුන්ට කිව හැකි සහ නොකිව හැකි දේ පිළිබඳ සොයා බැලීමට උත්සහ දරන්නෙමු.

ජාතික වශයෙන් ජනාධිපති අපේක්ෂකයින්ගේ තත්ත්වය කෙබඳුද?
කිසියම් අපේක්ෂකයෙකු සමස්තයක් ලෙස රටපුරා කෙතරම් ජනප්‍රිය ද යන්න කීමට නම් ජාතික වශයෙන් වූ මත විමසුම් හොඳ මාර්ගෝපදේශයකි. එහෙත්, මැතිවරණයේ ප්‍රතිඵල පුරෝකථනය කිරීමට කිරීමට තරම් යහපත් ක්‍රමයක් නොවේ.
උදාහරණයක් ලෙස ගතහොත්, 2016 දී මත විමසුම්වල ඉදිරියෙන් සිටි හිලරි ක්ලින්ටන් ආසන්න වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඡන්ද මිලියන තුනකින් පමණ ඉදිරියෙන් සිටියාය. එහෙත් ඇය පරාජය වූවාය. මක්නිසාද යත්, ඇමෙරිකාව භාවිත කරන ‘ඡන්ද විද්‍යාල’ ක්‍රමය ඊට හේතු විණි. ඒ අනුව වැඩි ඡන්ද හිමිකර ගත්තේ වුවද එම අපේක්ෂකයා සැමවිටම මැතිවරණය ජයග්‍රහණය නොකරයි.
එය පසෙකින් තැබුවොත්, මේ වසරේ බොහෝ අවස්ථාවල පැවති ජාතික වශයෙන් වූ මත විමසුම්වලදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඉදිරියෙන් සිටී. මෑත සතිවලදී 50% ක් තරම් වූ තැනක සිටි බයිඩන් ඇතැම් අවස්ථාවල ඒකක 10 කින් ඉදිරියෙන් සිටියේය.
ඊට වෙනස් ස්වභාවයක් ගනිමින්, 2016 පැවති මත විමසුම් එතරම් පැහැදිලි තත්ත්වයක නොවීය. මැතිවරණ දිනයට ළඟාවෙද්දී ට්‍රම්ප් හා එවක ඔහුගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් අතර වෙන්වීම පැවතියේ ප්‍රතිශතාංක කිහිපයකින් පමණි.

කුමන ප්‍රාන්ත විසින් මෙවර මැතිවරණය තීරණය කරනු ලබයි ද?
2016 දී හිලරි ක්ලින්ටන් සොයාගත් ආකාරයට ජයග්‍රහණය කරනු ලබන ඡන්ද ප්‍රමාණය, ඔබ දිනන්නේ කවර තැන්වලද යන්නට වඩා වැදගත්කමින් අඩු ය.
බොහෝ ප්‍රාන්තවල සාමාන්‍යයෙන් සැමවිටම එකම ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ වේ. මෙහි අර්ථය නම් සැබෑ තත්ත්වයේදී ප්‍රාන්ත අතලොස්සකදී අපේක්ෂකයින් දෙදෙනාටම ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් තිබේ. මැතිවරණය දිනන්නේද නැතිනම් පරදින්නේ ද යන්න තීරණය කෙරෙන එම ස්ථාන හැඳින්වෙන්නේ දැඩි තරගකාරී ප්‍රාන්ත (battleground states) ලෙසිනි.

සිය ජනාධිපති තෝරා පත්කරගැනීම සඳහා ඇමෙරිකාව භාවිත කරන ඡන්ද විද්‍යාල ක්‍රමය තුළදී, ඒ ඒ ප්‍රාන්තවල ජනගහනය පදනම්කර ගනිමින් ඒවාට ඡන්ද ප්‍රමාණයක් හිමිවේ. 538ක් වන ඡන්ද විද්‍යාලයේ මුළු ඡන්ද ප්‍රමාණය අතරින් කිසියම් අපේක්ෂකයෙකු ජයග්‍රහණය සඳහා ඡන්ද 270 ක් තමන් සතු කරගත යුතුය.
ඉහත සිතියමේ දැක්වෙන පරිදි ඇතැම් දැඩි තරගකාරී ප්‍රාන්තවලින් ඡන්ද විද්‍යාලය සඳහා අනෙකුත් ප්‍රාන්තවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ඇති බැවින් එම ප්‍රාන්ත තුළ සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා නිතර වැඩි කාලයක් යෙදවීමට අපේක්ෂකයෝ පෙළඹෙති.

දැඩි තරගකාරී ප්‍රාන්තවල ඉදිරියෙන් සිටින්නේ කවුද?
දැනට පෙනෙන ආකාරයට, දැඩි තරගකාරී ප්‍රාන්තවල මත විමසුම්වල වඩා වාසිදායක තත්ත්වයක සිටින්නේ ජෝ බයිඩන් ය. එහෙත් තවත් දිගු දුරක් යන්නට තිබේ. ඉතා කඩිනමින් වෙනස්කම් සිදුවිය හැකිය.
මත විමසුම්වලින් පෙන්නුම් කරන ආකාරයට මිචිගන්, පෙන්සිල්වේනියා හා විස්කොන්සින් යන කාර්මික පසුබිමක් ඇති ප්‍රාන්ත තුළ ජෝ බයිඩන් විශාල ලෙස ඉදිරියෙන් සිටී. ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් 2016 දී එම ප්‍රාන්ත තුළ සිය ජයග්‍රහණය ළඟා කරත්තේ 1% වඩා අඩු සීමාවලිනි.

නමුත් 2016 දී ට්‍රම්ප් හට විශාල ජයක් ගෙනදුන් මෙම දැඩි තරගකාරී ප්‍රාන්ත කෙරෙහි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නියුතු කණ්ඩායම වඩා කනස්සල්ලට පත්වනු ඇත. අයෝවා, ඔහායෝ සහ ටෙක්සස් යන ප්‍රාන්ත තුළ ගියවර ට්‍රම්ප් ගේ ජයග්‍රාහී සීමාව 8-10% අතර පෙන්නුම් කළද මේ වන විට එම ප්‍රාන්ත තුන තුළම වඩා සමීප තත්ත්වයක් පෙන්නුම් කරයි.
එම මත විමසුම්වලදී පෙන්නුම් කළ අංක, පසුගිය ජූලි මාසයේදී මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ කළමනාකාරවරයා මාරු කිරීමේ සිය තීරණය මෙන්ම “ව්‍යාජ මත විමසුම්” සම්බන්ධයෙන් නිතර තමන් පවසන දේ පැහැදිලි කිරීමට ට්‍රම්ප් ට සහයක් වනු ඇත.
කෙසේවෙතත්, ඔට්ටු තැබීමේ වෙළෙඳපොළ තවමත් ට්‍රම්ප් ගැන විශ්වාසය අත්හැර දමා නැත. මෑතක සිදු වූ අමුතු සිදුවීම් අතරේ වුවද, නොවැම්බර් 3 වැනිදා ජය ගැනීමේ තුනට එකක පමණ අවස්ථාවක් ට්‍රම්ප් ට ඇති බව පෙන්වා ඇත.

ට්‍රම්ප් ලැබූ අංකවලට කොරෝනාවයිරසයේ බලපෑමක් තිබුණා ද?
වසර ආරම්භයේ සිට ම ඇමෙරිකානු මාධ්‍ය සිරස්තල පිරී ගියේ කොරෝනාවයිරසයෙනි. එසේම, ජනාධිපති ට්‍රම්ප් ගේ ක්‍රියාවලට පළවූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපේක්ෂා කළ අන්දමටම පක්ෂ අතර බෙදීමක් ඇති විය.
ජනාධිපතිවරයාගේ ප්‍රවේශයට පළවූ සහයෝගය කූටප්‍රාප්ත වූයේ මාර්තු මාසය මැද භාගයේදී ඔහු ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ද වයිරසය පැතිරීම නවතාලීම සඳහා ප්‍රාන්ත වෙනුවෙන් ඩොලර් බිලියන 50ක් වෙන් කිරීමත් සමගිනි. එම අවස්ථාවේදී ඇමෙරිකානුවන් අතරින් 55% ක් ජනාධිපතිවරයාගේ ක්‍රියා අනුමත කළ බව මත විමසුමේ නිරත ප්‍රමුඛ සමාගමක් වන ඉප්සොස් (Ipsos) නිකුත් කළ දත්තවලින් පෙන්නුම් කෙරේ.
නමුත් එයින් අනතුරුව, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වෙතින් ලද කවර හෝ සහයෝගයක් අතුරුදන්ව යද්දී රිපබ්ලිකන් පාක්ෂිකයෝ තවදුරටත් සිය ජනාධිපතිවරයාට සහය පළ කළහ.

කෙසේවෙතත් ගෙවී ගිය මාසය වන විට දත්තවලින් පෙන්නුම් කරන්නට වූයේ , වයිරසය යළි පැතිරීමට අදාළව රටේ දකුණු හා බටහිර ප්‍රාන්ත කටයුතු කරමින් සිටියදී ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ඔහුගේ ම ආධාරකරුවන් විසින් ප්‍රශ්න කරනු ලබන බවකි.
මෑත සතිවලදී, “මෙය හොඳ අතට හැරෙන්නට කළින් දරුණු වේවි” යැයි අනතුරු අඟවමින් කොරෝනාවයිරසය සම්බන්ධයෙන් ඔහු අඩු සුබවාදී බවක් පළ කළේ ඇයිද යන්න එයින් පැහැදිලි කරනු ඇත.
පළමු වරට මුහුණු ආවරණයක් පැළඳි ඔහු අමෙරිකානුවට ද එසේ කරන්නැයි ඉල්ලා සිටියේ “ඒවායින් බලපෑමක් තිබෙනවා” යනුවෙන් සහ “දේශප්‍රේමී” බව පෙන්වන්න යැයි පවසමිනි.
එක් ප්‍රමුඛ මොඩියුලයක් නිර්මාණය කළ වොෂිංටන් සරසවියේ විශේෂඥයින් පිරිසක්, මැතිවරණ දිනය වන විට මුළු මරණ සංඛ්‍යාව 250,000 ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කළහ.

මත විමසුම් විශ්වාස කළ හැකිද?
2016 දී වැරදුණා යැයි පවසමින් මත විමසුම් බැහැර කිරීම පහසු ය. ජනාධිපති ට්‍රම්ප් විසින් එය නිතරම සිදු කරනු ලබයි. එහෙත් සම්පූර්ණයෙන් සත්‍යය එය නොවේ.
බොහෝ ජාතික මත විමසීම්වලදී හිලරි ක්ලින්ටන් සුළු ප්‍රතිශතාංකවලින් ඉදියෙන් සිටියාය. එහෙත්, සිය ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන තුනක් ලැබූ බැවින් එම මත විමසීම් වැරදි යැයි ඉන් අදහස් නොකෙරේ.
2016 දී මත විමසුම්කරුවෝ ගැටලුවකට මුහුණ දුන්හ. පැහැදිලිව පෙනුණු ආකාරයට උපාධියක් නැති ඡන්දදායකයින් නියමිත ලෙස නියෝජනය කිරීමේ අසමත් කමක් විණි. එහි අදහස නම් ඇතැම් දැඩි තරගකාරී ප්‍රාන්තවල ට්‍රම්ප් ට වාසිදායක තත්ත්වයක් විණි නම් මැතිවරණයේ අවසන් අවස්ථාව වන තෙක් හඳුනා නොගැනීම ය. මත විමසීමේ නිරත බොහෝ සමාගම් දැන් එය නිවැරදි කර තිබේ.
එහෙත් කොරෝනාවයිරස වසංගතය හේතුවෙන් සාමාන්‍ය තත්ත්වයට වඩා බොහෝ අවිනිශ්චිතතාවක් මෙම වසරේ පවතී. ආර්ථිකය මෙන්ම නොවැම්බරයේ දී ජනතාව ඡන්දය දෙනු ඇත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් එහි බලපෑමක් ඇත. එබැවින්, විශේෂයෙන්ම මැතිවරණ දවස තවත් බොහෝ කාලයක් තිබෙද්දී සියලු මත විමසුම් කියවිය යුතු වන්නේ තරමක සැකයකිනි.
Text by bbc