අපායේ විවේකයේදී ‘සිංදු කියන’ මාධ්‍යවේදියෝ !

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම හා යුතුකම වන්නේ පවතින සමාජ යථාර්ථය එළිදැක්වීමය. සමාජය තුළ සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කර ගැනීමටත්, එසේ අවබෝඅධ කරගත් දෑ විශ්ලේෂණය කිරීමටත්, ඥානයක් මාධ්‍යවේදියා සතු විය යුතුය.මෙම ප්‍රයත්නයේ දී , විශේෂයෙන් දේශපාලනඥයන් ඇතුළුව විවිධ පාර්ශවයන්ගෙන් ,ජනමාධ්‍යවේදියාට විවිධ ගැහැට එල්ල වන අතර, ඒවාට මුහුණ දීමට ද ඔහුට සිදුවේ.

එනමුත් දියුණු යැයි සම්මත රටවල ( චීනය හැර ) විශේෂයෙන් බටහිර රටවල, පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ මෙම ක්‍රියාවලියේ දී මාධ්‍යවේදියාට විඳින්නට වන ගැහැටක් නැති තරම්ය.
එහෙත්, දියුණුවෙමින් පවතිනවා යැයි නම් කොට ඇති රටක් ලෙස, ශ්‍රී ලංකාව තුළ නම්, සමාජ යථාර්ථය දැක විග්‍රහ  කිරීමට ප්‍රයත්න දරන මාධ්‍යවේදියාගේ ඉරණම ශෝචනීය  ය. අතීතයේත් එසේමය. වර්ථමානයේත් කිසිදු වෙනසක් නැත.

ජනමාධ්‍යවේදියා මෙවැනි ඉරණමකට ගොදුරු වන්නේ, ලාංකීය භූමිය තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැඟී නොමැති නිසාය. එවැනි සංස්කෘතියක් ගොඩ නැගීමට නම්, පාලකයාට වඩා මාධ්‍යවේදීන් දැනුවත් මැදිහත්වීම අත්‍යාවශ්‍ය ය. ඊට අමතරව පාඨකයා, ප්‍රේක්ෂකයා සහ අසන්නා ලෙස ක්‍රියාත්මක වන සමස්ථ සමාජය ද ඒ සඳහා ශික්ෂණයෙන් යුක්ත වීම අවශ්‍ය ය.
මේ වන විට ලාංකීය සමාජය තුළ පවතින සමාජ යථාර්ථය කුමක් ද? කෙටියෙන් පවසතොත් එය මෙසේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින්, පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේන් ආරම්භ කළ ව්‍යවස්ථා විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයේ දිගුව , වඩාත් තීව්‍ර ලෙස දිග හැරෙමින් තිබීම අද දවසේ යථාර්ථය යි.

එක් පසෙකින් ඇමරිකානු පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු ජනාධිපතිවරණයට නාමයෝජණා භාරදීමේ සිට, ජනාධිපති පදවියට පත්වීම දක්වා වූ ක්‍රියා පිළිවෙත, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හා ව්‍යවස්ථා විරෝධී බවට වූ බරපතල ගැටළුවය ය.

තවත් පසෙකින් , ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව  විසුරුවා හළ මාර්තු 02 සිට අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත කාලය තුළ එය රැස්වීමට නොහැකිවීමේන් මතුවන ව්‍යවස්ථා අර්බුදය ය.

ආණ්ඩුව විසින් අය- වැය ලේඛනයක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර නොමැති තත්ත්වයක් තුළ, ව්‍යවස්ථාවට අනුකූලව රජයේ මුදල් පරිහරණය පිළිබඳ මතුවී අැති ගැටළුව පිළිබඳ විවාදය තව පසෙකින් ය.

ව්‍යවස්ථාදායකය නොහොත්, පාර්ලිමේන්තුවක් නොමැතිව , ඒකාධිපති ස්වරූපයේ පාලනය ,ජූනි 02 සිට රට තුළ ඇතිවීමට නියමිතව ඇති තත්ත්වය අනෙක් පසින් ය.

මේ සියල්ල අතර, කොරෝනා වසංගතය හේතුවෙන්  රටේ සාමාන්‍ය ජනතාවට, ව්‍යාපාරිකයන්ට , ගොවියන්ට, කම්කරුවන්ට ආදී සෑම සියළු සමාජ ස්ථරක් තුළම සිදු වී ඇති කඩා වැටීම අතිමහත් ය.

මේ අනුව ගත්විට ශ්‍රී ලංකාව තුළ සමාජ , දේශපාලන සහ ආර්ථික යන සියළු අංශ බරපතල වියැවුලකට පත්ව ඇති බව සාමාන්‍ය පුරවැසියෙකුට වුව අවබෝධ කර ගැනීමට අපහසු නැත.
මෙවැනි පරිසරයක් තුළ විපක්ෂයේ කාර්‍යභාරය අති ප්‍රබල විය යුතු වබ නොකිවමනාය. එහෙත් තවමත් එය සැබැවින්ම එසේ නොමැතිවීම කණගාටුදායකය. ඊට දේශපාලන බෙදීම්, වෙන්වීම්, මතවාද මෙන්ම දේශපාලන ඩීල් බලපා අැති බව පැහැදිළිය.

එසේ නම් මෙවැනි මොහොතක සැබෑ ජනමාධ්‍යවේදියගේ කාර්‍යභාරය කුමක් විය යුතු ද? සැබැවින්ම මාධ්‍යවේදියා තම දැනුම හා හැකියාව, සමාජ අවශ්‍යතාවයන් හඳුනාගත් සමාජ මෙහෙවරක් වෙනුවෙන් යෙදවිය යුතුය.

මාධ්‍යවේදියා කළ යුත්තේ සාමාන්‍ය ජනතාව තුළ පවතින ව්‍යාජ චින්තනයකට පණ පෙවීම නොවේ. මාධ්‍යවේදියා පෙනී සිටිය යුත්තේ සමාජ විඥාණය ඉහළට ගෙන යන පුරෝගාමියෙකු ලෙසය. ඔහු සමාජය පිළිබඳ ඉහළ සංවේදීතාවයකින් කටයුතු කරන්නෙකු විය යුතුය.

ලාංකීය සමාජයේ ප්‍රධාන ධාරාවන් තුළ හැසිරෙන වත්මන් මාධ්‍යවේදින්ගෙන්, මෙම යුතුකම හා වගකීම ඉටු නොවන තරම්ය. එම වගකීම තවමත් ඉටු කරමින් සිටින්නේ විකල්ප හා නිදහස් මතධාරීන් ලෙස කටයුතු කරන මාධයවේදීන් අතලොස්සක් පමණය.

” බලය දූෂණය කරයි. වැඩි බලය වැඩියෙන් දූෂණය කරයි. ” යන්න දේශපාලන විදයාවේ සඳහන් වැකියකි. රටක පාලකයන්වීමට උත්සාහ කරන්නන් හෝ රටක පාලන බලය ලබා ගත්තා වූ පුද්ගලයන් හෝ , ඒ රටේ නීතිය නොතකයි නම්, දූෂණයේ යෙදෙයි නම් එම නීති කඩන්නන් හා දූෂිතයන් එළිදරව් කිරීම මාධ්‍යවේදියාගේ වගකීම වේ.

පාලකයා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වූ තරමට මාධ්‍යවේදියාගේ නිදහසට සීමා වැටීම තිව්‍ර වේ. ඒ අවස්ථාවල මධ්‍යවේදියා සංවිධානගතව කටයුතු කිරීමෙන් නිදහසට පැමිණෙන බාධා අවමකර ගත හැකිය.

සෘජු ලෙස රාජ්‍යයෙන් ද, රැකියා අහිමි කිරීම වැනි තර්ජන කිරීම් වලින් ද, පැහැර ගැනීම්, පහරදීම්, නීති මගින්, අධිකරණය මගින් සහ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ බලපෑම් වැනි කී නොකී බොහෝ පියවරයන් මගින් මාධ්‍යවේදීන්ගේ නිදහස උදුරා ගැනීම , සීමා කිරීමට ලංකාවේ පාලකයෝ අතීතයේ දී ක්‍රියා කළ බව රහසක් නොවේ.

එම ක්‍රියා පිළිවෙත අඩු වැඩි වශයෙන් මේ මොහොතේ ද යථාර්ථයකි. ඒ නිසාම ලංකාව තුළ කටයුතු කරන බහුතර මාධ්‍යවේදීන්ගේ උකටලීකම ගැන සිතා ගැනීමට අපහසු නැත.
එහෙත්, මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනී සිටින, පොදුවේ සමාජ යහපත වෙනුවෙන් බොහෝ කලකට පෙර දැඩි ලෙස පෙනී සිටි පතාක මාධ්‍ය සංවිධාන අද සිහින දුටු ගොළුවන් සේ සිටිම අදහාගත නොහැක.

අපි, ලංකාව තුළ ජීවත්වන මාධ්‍යවේදීන්ගේ භූමිකාව මොහොතකට පසෙක තබා , ලංකාවෙන් පිටවී සිටින මාධ්‍යවේදීන්ගේ භූමිකාව දෙසට හැරී බලමු.

සිංහල භාෂාවෙන් මාධ්‍යකරණයේ යෙදී සිට, මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී විවිධ තර්ජන වලට ලක්වූ බව පවසන , යුරෝපීය රටවල දිවි ගෙවන සැලකිය යුතු මාධ්‍යවේදීන් ගණනක් සිටිති.
මේ පිරිස අතර, පැහැර ගැනීම්වලට ලක් වී අමානුෂික ප්‍රහාරයන්ට ලක් වූ අයද වෙති. මරණ තර්ජන එල්ල වූ අයද සිටිති. එසේම මේ අය අතර ලංකාවේ ක්‍රියාත්මක මාධ්‍ය සංවිධානවල ප්‍රධාන නිළ දරපු හා නිළ නොදරපු උදවිය ද මේ අතර සිටිති.

මා ද ඇතුළුව මේ සියල්ලෝම ජීවත්වන්නේ, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්, දියුණු ආර්ථිකයක් පමණක් නොව  සම කළ නොහැකි මට්ටමේ ඉහළ මාධ්‍ය නිදහසක් පවතින රටවල්වලය.මෙහි සිටින කිසිවකුට මාධ්‍යකරණයේ දී රෝමකූප මාත්‍රයකට ද උපද්‍රව පැමිණෙන්නේ නැත.

එසේ තිබියදීත්, තමන් උපන් රටේ,  තමන් වෘත්තිය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ රටේ,  ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්වෙමින් පවතින මෙවන් මොහොතක මොවුන්ගේ නිහඬ භූමිකාව,  එළිපිට මෙන්ම විවේචනාත්මකව ද  සාකච්ඡාවට බඳුන් කිරීම කළ යුතු ය.

මේ අතර, රාජපක්ෂ පාලනයෙන් ජීවිතය බේරා ගැනීමට යුරෝපයට පැමිණි එක් මාධ්‍යවේදියෙකු, තම යුතුකම හා වගකීම ඉටු කරමින් අඛණ්ඩව වෙබ් පුවත්පතක් පවත්වාගෙන යමින් , අන් අයට ද ඊට දායකවීමට ඉඩ කඩ සලසමින් කටයුතු කරමින් සිටීම සතුටට කරුණකි. තවත් කිහිප දෙනකු අවම තරමින් මුහුණු පොතේ Post එකක් හෝ පළ කරමින් තමන්ගේ විරෝධය පළ කරමින් සිටීම ද අගය කළ යුත්තකි.

විවිධ දේශපාලන හේතුන් නිසා ශ්‍රී ලංකාවෙන් පිටව යුරෝපය තුළ ජීවත්වන ද්‍රවිඩ හා මුස්ලිම් මාධ්‍යවේදීන් , එදා ඔවුන් පෙනී සිටි කාරණා වෙනුවෙන් අදටත් අඛණ්ඩව ක්‍රියාකාරීව පෙනී සිටිම ගැන ඔවුන් ද ගෞරවයට පාත්‍රවිය යුතුයි. දූෂණයට , භීෂණයට , ඒකාධිපතිවාදයට, මිලිටරිකරණයට ආදී සබ්බ සකළමනාවටම එරෙහිව, එදා මහා හඬින් සංග්‍රාම කළ සිංහල මාධ්‍යවේදීන් බහුතරයගෙන් කෙඳිරිලි හඬක්වත් දැන් අසන්නට නැත.

“. නුග ගස මහත් වුවත් නුග ඵලය කුඩාය.  ”  

මේ කියමන ඇත්තේ බෞද්ධ සාහිත්‍යයේ එන නාගසේන කථා වස්තුවේය.

පහතින් ඇති ගීත කාණ්ඩය උපුටා ගත්තේ  , රංවල බලකායේ පොඩි එවුන් එක්වී සිදු කළ ප්‍රහසන රංඟනයකින් ය. 

”  මාධ්‍යවේදියෙක් වෙනවා මම නම් ලොකු වීලා…   රටට සේවෙ කරනවා ඉල්ලන සිංදුව දීලා… “
නාගසේන කථා වස්තුවෙන් සහ රංවල බලකායේ පොඩි එවුන්ගේ සිංදුවෙන් බොහෝ චිත්තරුප මැවෙන බැව් නම් පැහැදිලිය.

( මෙය සංවාදයට විවෘතය.. jayalathges1@gmail.com )
සුනිල් ගාමිණී

Loading...

RSL

Related Posts