අනවසර ‘ග්ලයිෆොසෙට්’ භාවිතය පිටුදකිමු !

කෘෂි රසායන ද්‍රව්‍යය අතුරින් මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ද්‍රව්‍යය ලෙස නම් කළ හැක්කේ ග්ලයිෆොසේට් නමැති වල්නාශකයයි. මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම අවධානයට යොමුවූ නිෂ්පාදනයක්. ඇතැම් පුද්ගලයින්ට සිදුවූ සෞඛ්‍යමය හානි හේතුවෙන් මෙය නිෂ්පාදනය කළ සමාගමට වන්දි ගෙවීමට පවා සිදුවූ අතර මෙරට තුළද කලකට ඉහතදී මෙම නිෂ්පාදනය නිදහසේ භාවිතා කරන ලදි.

එසේවුවත් විවිධ පාර්ශවයන්ගෙන් පැමිණි විරෝධතා නිසා වරක් එය ශ‍්‍රී ලංකාව තුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වී, පසු කලෙක සීමිත භාවිතයක් වෙනුවෙන් අවසර දීමටද පියවර ගනු ලැබීය. මේ අනුව වර්තමානයේ ග්ලයිෆොසෙට් භාවිතා කළ හැක්කේ තේ, රබර් යන වැවිලි බෝගයන්හි වල් මර්දනය සඳහා පමණක් වේ. ආනයනය මෙන්ම බෙදාහැරීම සිදුකරනු ලබන්නේද රජයේ නියාමනය යටතේය. තවමත් වී වගාවද ඇතුළුව කෙටිකාලීන කෘෂිකාර්මික බෝග වගාකරන භූමි සඳහා ග්ලයිෆොසේට් භාවිතයේ තහනම එසේම පවතී.

ගොවිතැන උදෙසා ග්ලයිෆොසෙට් වල අනිවාර්යය අවශ්‍යතාවයක් ඇති බවට වූ ආකල්පයක් කෙතරම් ජනතාව අතරට ගොස් තිබේද කියනවානම්, මේ වනවිට නීත්‍යානුකූල නොවන මාර්ගයන් ඔස්සේ හෝ මෙය ලබාගෙන භාවිතාකිරීමට වී ගොවියා පවා පෙළඹී සිටී. එනම් පළිබෝධනාශක අලෙවිකරුවන් පවසන්නේ ග්ලයිෆොසෙට් සොයා සැලකියයුතු පිරිසක් තවමත් ඔවුන් වෙත එන බවයි.

මේ ඉල්ලූම නිසාම අනවසරයෙන් පවා මෙරටට ග්ලයිෆොසෙට් රැුගෙන එන අවස්ථා අනාවරණය වී තිබේ. ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ රැුගෙන එනවායයි විශ්වාස කෙරෙන මෙම ද්‍රව්‍යය ඉතා ශක්තිමත් ජාලයක් හරහා රට පුරා බෙදාහරිමින්ද තිබේ. නීතිය යටතට හසුකරගනිමින් නඩු මාර්ගයට එළඹීමට හැකි සීමාවන් පවා අභිබවමින් මෙම ක‍්‍රියා සිදුවෙමින් පවතී. ඒ පිළිබ`දව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ලසන්ත රත්නවීර මහතා පැවසුවේ මෙවන් අදහසකි.

”අප සතු ශක්තිය හා සම්පත් උපයෝගී කරගනිමින් අප පසුගිය වසරේදීත් වැටලීම් ගණනාවක් සිදුකලා. ඒ අනුව අලෙවිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග පවා අරගත්තා. අයකළ දඩ මුදල රුපියල් ලක්ෂ ගණනක්. ඒ වුවත් දඩ මුදල ගෙවා නිමකර මේ වැඬේ නැවතත් එම ව්‍යාපාරිකයින් විසින්ම පටන් ගන්නවා. ගොවි ජනතාවගෙන් එන ඉල්ලූම තමයි එයට ප‍්‍රධාන හේතුව”

ග්ලයිෆොසෙට් නොමැතිව ගොවිතැන් කරන්නට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ කර අවසන්ය. එබැවින් ගොවියා තුළ ආකල්පමනය වෙනසක් ඇතිවී ග්ලයිෆොසෙට් ඉල්ලා වෙළඳසැල වෙතට යන සිරිත ඔහු විසින් අත්හල යුතුවේ. ජනතාවගෙන් ඉල්ලූමක් නැතිනම් අනවසරයෙන් නොව අවසර ලබාගෙනවත් ව්‍යාපාරිකයින් මේවා ආනයනය කරන්නේ නැත.

කටයුතු පාලනය කිරීම උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය මහජන සහාය බලාපොරොත්තුවෙන්නේ මේ හේතුවෙනි. මේ ආකාරයෙන් රට තුළට පැමිණෙන ග්ලයිෆොසෙට් නීත්‍යානුකූල ඒවාටත් වඩා පරිසරයට මෙන්ම ජනතාවට හානි ගෙනදෙන බවට විද්වත් මත පලවී ඇති පසුබිමක මහජනතාව මීට වඩා සැලකිලිමත්ව මේ ගැන සිතා බැලිය යුතුය.

සංයුතිය කෙබඳුදැයි පරීක්ෂාකර, ලියාපදිංචිකර පරිහරණය සඳහා අනුමැතිය දීම සාමාන්‍ය ක‍්‍රමවේදය වුවත්, මෙහිදී එවැන්නක් සිදු නොවන නිසා ආරක්ෂකබව සම්බන්ධයෙන් බරපතල අවදානමක් තිබේ. අනෙක් කරුණ වන්නේ මෙම අනවසර නිෂ්පාදනයන් සඳහා විධිමත් මිල නියාමනයක් නොමැති වීමයි. කුමන සංයුතියකින් යුතුව කුමන ද්‍රව්‍යය අන්තර්ගතදැයි කිසිවෙක් දන්නේ නැත.

නිසි ප‍්‍රමිතියක් නොලැබූ මෙවන් දෑ පරිසරයට මුදාහැරීමෙන් සිදුවන්නේ විශාල හානියකි. මීට අමතරව අනවසර දෑ සඳහා වෙළෙඳුන් හිතුමනාපයට මුදල් අයකරනු ලබයි. මේ නිසා ගොවියාට අනවශ්‍ය නිෂ්පාදන වියදමක් දැරීමට සිදුවන්නේය. ඊට සරිලන වැඩි මිලක් තම නිෂ්පාදනයට පාරිභෝගිකයාගෙන් ලැබෙන බවට සහතිකයක්ද නැත.

නීත්‍යානුකූලව මෙවැනි කටයුතු නියාමනය කරනවාට වඩා ප‍්‍රයෝගික විසඳුම වන්නේ ගොවි ජනතාව නිසියාකාරව දැනුවත්ව අනවසර නිෂ්පාදනයන්ගෙන් ඈත්වී සිටීමයි. එම කටයුතු වලට සහය දීම සමස්ත සමාජය සතු වගකීමක්ද වන්නේය.

පිටපත : සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව
තාක්‍ෂණික කරුණු ඃ ලසන්ත රත්නවීර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය, ගැටඹේ

Loading...

RSL

Related Posts