සතිඅග සළරුව – The 100-Year-Old Man Who Climbed Out the Window & Disappeared (2013)

Spread the love

100 old

මුළු ජීවිත කාලය පුරාවටම දේවල් පුපුරවාහරින එකම කර කර හිටපු ඇලන් කාසන්, එයාගේ සියවැනි උපන්දිනය දවසේ වැඩිහිටි නිවාසේ ජනේලයෙන් පැනලා ගිහින් අතුරුදහන් වෙලා ඉන්න ගමන් එයාගේ ජීවිත කතාව අපට කියනවා.

ඒ නිසා “ජනේලයෙන් පැනගොස් අතුරුදහන්වුණු අවුරුදු සියයක් වයස මිනිසා” වගේ ඕනේවට වඩා දිග නමක් චිත්‍රපටයට ලැබෙනවා ඇරෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මුල් වතාවට කියවගන්න බැරි තරම් දිග නම අහද්දී මෙච්චර දිග නමක් මොකටද චිත්‍රපටයකට? කියලා කෙනෙකුට හිතෙන විදිහටම වෙන්න ඇති වැඩිහිටි නිවාසෙන් පැනලා යද්දී ඇලන් කාසන්ට ගනින්න බැරිතරම් සල්ලි පුරෝපු සූට් කේස් එකක් ලැබුණහම එයාට හිතෙන්න ඇත්තෙත්. ඒවා හොඳ සල්ලි නෙවෙයි. මත්කුඩු ජාවාරමේ සල්ලි. ඇලන් දන්නේ නෑ ඒ බවක්. ඇලෙක්ට මේ සල්ලි ගැන කිසි වගක් නැති වුණාට ඒවා මත්තේ නහින්න, හොයාගෙන පස්සෙන් එන්න මරාගෙන මැරිලා හරි අරගෙන යන්න තවත් කට්ටියක් හිටියා. වැඩකට නැති සල්ලි සූට් කේස් එකත් එක්ක යද්දී ඇලන්ගේ පටලැවිල්ලට කිට්ටු වයසක ගජයෙකුත් එකතුවෙනවා. ඒ අතරට හැමදේම ඉගෙන ගත්තට ඒ කිසිදෙයක් ගැන ආත්මවිශ්වාසයක් නැතිව අකලට වයසට යන තරුණයෙක්, නිදහසට කැමති තනියෙම ජීවත්වන ගැහැනියක්. මේ කට්ටිය එකට මුණගැහිලා කාටවත් අවශ්‍ය නොවුන අරමුණක් වෙනුවෙන් එකතුවෙන කණ්ඩායමක් බවට පත්වෙනවා. තව අලියෙකුත් ඉන්නවා. සර්කස් එකකින් මහ දවාලේ හොරකම්කරගෙන ආව අලියෙක්.

100 old 2අවුරුදු සීයක් වයස ඇලන් කාසන් ගේ ජීවිතය, හිතන්න බැරිකරම් විශේෂ අයව මුණගැසුණ, හිතන්න බැරිතරම් විශේෂ සිද්ධි වලට මැදිහත්වුණ ජීවිතයක්.

“ද වන්හන්ඩ්‍රඩ් ඉයර් ඕල්ඩ් මෑන් හූ ක්ලයිම්බ්ඩ් අවුට් ද වින්ඩෝ ඇන්ඩ් ඩිසිපියර්ඩ්” චිත්‍රපටය (යුතුකමට ච්ත්‍රපටියේ නම එකපාරක් කිව්වා, ආයේ නම් කියන්න බෑ) ස්වීඩන චිත්‍රපටයක්. මුලින්ම තිරගතවුණේ 2013 දී. මේ වසරේ ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම කොණ්ඩා නිර්මාණය සහ අංගරචනය යන අංශයෙන් මේ චිත්‍රපටය නිර්දේශ අතරේ සිටිනවා. 2014 ඩර්බන් ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනා තිබෙනවා. ඒ කිසි සම්මාණයකට වඩා අමුතු චමත්කාරයක් මේ චිත්‍රපටයේ තිබෙන නිසයි අපි මේ ගැන කියන්න හිතුවේ. උත්ප්‍රාසය සහ උපහාසය එකට එක්තැන්කොට දයානුකම්පාවකට, ජීවිතයේ අර්ථය ගැන සරල පාඩමකට ප්‍රේක්‍ෂකයාව රැගෙන යන චිත්‍රපටයක් කීවත් වරදක් නැහැ.

චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ යොනාස් යොනාසන් නැමති ස්වීඩන ජාතික ලේඛකයාගේ නවකතාවක් පදනම් කරගෙනයි. අධ්‍යක්‍ෂවරයා ෆීලික්ස් හෙන්ග්‍රන්. චිත්‍රපටය ලොව පුරා රටවල් 40 ප්‍රදර්ශනයෙන්, ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් උපයා තියෙනවා. තුන්වැනි විශාලතම ජාත්‍යන්තර ඉපැයීමක් කළ ස්වීඩන චිත්‍රපටය මෙය යි.

ඕය කිසි කාරණාවක් නිසා නොවෙයි. මේ චිත්‍රපටය නරඹන්න. සිනමා පටයකින් ලැබිය හැකි සැහැල්ලුව රසවින්දනය කෙනෙකුව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයනවා නම් මේ ඒ කටයුත්ත ඉතා හොඳින් කරන චිත්‍රපටයක්.

-අඛිල රන්සිරි මලලගේ-

[youtube P-k7DUQPHfQ]

RSL

Related Posts