සයිටම් ගැන ආණ්ඩුවේ උපක්‍රමික කල්මැරීමට එරෙහිව වෛද්‍යවරු දැවැන්ත සටනකට

Spread the love

මාළඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුවට සතියක්‌ ඇතුළත විසඳුම් නොදුන්නොත් අප්‍රේල් මුල් සතියේ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අනුකූලතා සහතිකයක්‌ නොමැතිව උපාධි පිරිනැමීම සඳහා ලබාදී ඇති හැකියාව අප්‍රේල් මුල් සතියට පෙර ඉවත්කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඊට එරෙහිව ආරම්භ කරන වෘත්තීය ක්‍රියා මාර්ගයට රටේ සියලු බලවේග එක්‌ කරගන්නා බවත් එම සංගමය සඳහන් කරයි.

එම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට සමගාමීව කොළඹ නගරය තුළ දැවැන්ත ඒකාබද්ධ විරෝධතා වැඩසටහනක්‌ සංවිධානය කර ඇති අතර ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හා ඒ පිළිබඳව නිශ්චිත දිනයන් තීරණය කිරීමේ බලය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් විධායක කමිටුවට පවරාදී ඇත.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණයන් ක්‍රියාත්මක කරන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෛද්‍ය පීඨ ආචාර්යවරුන් හා පීඨාධිපතිවරුන් තීරණයට එළඹ ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඒවා නම්(-

1. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට්‌ කිරීම හා වෛද්‍ය සභාවේ තාක්‍ෂණික වාර්තාවට නෛතික භාවයක්‌ ලබාදීම.

2. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා සයිටම් වෛද්‍ය සභාවේ අනුකූලතා සහතිකය නොලබා ඇති බව අධිකරණයට දැනුම් දීම.

3. සයිටම් ආයතනය විසින් තවදුරටත් සිසුන් බඳවා ගැනීම වහාම නතර කිරීම.

4. මෙම ආයතනය හරහා වැඩිදුරටත් උපාධි ප්‍රදානය කිරීම වහාම නතර කිරීම.

5. දැනට මෙම ආයතනය තුළ ඉගෙන ගනු ලබන සිසුන් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක්‌ ලබා දීමට කමිටුවක්‌ පත් කිරීම ආදියයි.

RSL

Related Posts