ආපදා කළමනාකරණයට සහය දුන් මාධ්‍යයට රජයෙන් සම්මානයක්!

Spread the love

2004 වර්ෂයේ සිදුවූ සුනාමියෙන් පසු බිහිසුණුම ස්වභාවික විපතට අපි මේ වනවිට මුහුණ දී සිටින්නෙමු. එය 2003 වර්ෂයෙන් පසු මෙරට ඇතිවූ විශාලතම ගංවතුරයි.

200ට වැඩි පිරිසකට මරු කැඳවමින් තවත් 100ට ආසන්න පිරිසක් අතුරුදන් කරවමින් ලක්ෂ හයක පමණ ජනතාවක් අවතැන් කරමින් ගලා ගිය ඒ මහා ජලකඳ තවමත් මුහුදට ගලාගොස් අවසන් නැත. මාතර හා ගාල්ල දිස්ත්‍රික් දෙකෙහි බොහෝ ප්‍රදේශ තවමත් ගංවතුරෙන් යටවී තිබේ.

අප මේ කතා කරන්නේ ගංවතුර ගැන නොවේ. ගංවතුර වැනි ස්වභාවික විපතක දී වැදගත් ම කාර්ය භාරයක් පැවරෙන්නා වූ මාධ්‍යයේ භූමිකාව පිළිබඳවය.
පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ආපදා වාර්තාකරණය කිරීමේ දී අනුගමනය කළ ක්‍රියාමාර්ගය පැසසුමට ලක්කළේය. මෙවැනි පැසසුමක් රජයේ මාධ්‍යවලට ලැබුණේ නම් ඒ මේ අවස්ථාවේ පමණක් විය යුතුය.

එහි දී ඔහු කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරට පැමිණ මාධ්‍යයට නිවැරදි තොරතුරු දෙමින් නිසි කළමනාකරණයක් කළ බවත් එබැවින් මාධ්‍ය වාර්තා කටයුතු නිසි පරිදි සිදුවූ බවයි.

මෙහි සත්‍යයක් තිබේ. අප දන්නා පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගේ නායකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයට අමතරව ආපදා වාර්තාකිරීම සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ පැය 24ම ක්‍රියාත්ක වන විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබිණි.

ආපාදා තත්ත්වය හටගත් සිකුරාදා සිට ක්‍රියාත්මක වූ මේ ඒකක මගින් දින පහක් ඇතුලත මාධ්‍ය සාකච්ඡා අටක් සංවිධානය කර තිබූ අතර නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදන සංඛ්‍යාව 50 ට ආසන්න වීම විශේෂත්වයකි. ඒකක දෙකක් ක්‍රියාත්මක වුව ද එම ඒකක දෙකම නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදන සියල්ල අප වෙත ලැබුණේ එකම ස්ථානයකිනි. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමේ අංශය මගිනි.

මේ හේතුවෙන් මාධ්‍යයට විශාල සහායක් තිබිණි. ඒ ඒ දිස්ත්‍රික්කවලින් විවිද බලධාරීන්ගෙන් ලබාගන්නා තොරතුරු එක් එක් මාධ්‍යයන්හි ප්‍රකාශයට පත්වන්නේ පරස්පරයක් සහිතව වීම වෙනදා දක්නට ලැබෙන දුර්වලතාවකි. එසේ වුව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව නිකුත් කරන නිවේදනයන් අනුව යමින් මෙවර මාධ්‍ය ඒ වැරැද්ද නිවැරදි කරගෙන තිබිණි. රාත්‍රී විද්‍යුත් නාලිකාවල ප්‍රවෘත්ති විකාශනයන්ගේත්, පසුදා පුවත්පත්වලත් තොරතුරු එකම ආකාරයේ වීමට මේ සාධනීය පියවර බොහෝ බලපෑම් කර තිබිණි.

රාජිත සේනාරත්න ඇමතිවරයා කියන කතාව සත්‍යයක් වන්නේ එබැවිනි. මෙය ඉතා හොඳ ප්‍රවණතාවකි. එමෙන් ම මේ මාධ්‍ය ඒකකයන්ට කතා කර ඕනෑම වේලාවක තොරතුරු යාවත්කාලීන කරගැනීමට හැකිවීමත් එහි සිටි ඇතැම් නිලධාරීන් තමන්ගේ පුද්ගලික සමාජ මාධ්‍ය ජාලා පිටු පවා භාවිතා කරමින් තොරතුරු නිරන්තරවම යාවත්කාලීන කිරීමත් දක්නට ලැබිණි. ඔවුන් පැය විසි හතර පුරාම ඒ සඳහා කැපවී සිටීම පැසසුම් කටයුතුය. එමෙන් ම විවිද මාධ්‍ය මගින් අනාවරණය කරන උපකාර හා සහනාධාර අවශ්‍ය ස්ථාන හා පුද්ගලයන් පිළිබඳව ද අවධානයෙන් සිටිමින් ඒවා නිරීක්ෂණය කර අවශ්‍ය ස්ථානවෙත යොමු කිරීම ද මේ ඒකක මගින් සිදුවන බව පෙනෙන්නට තිබිණි. සාමාන්‍ය ජනතාව ඔවුන්ට ලබාදෙන තොරතුරු සඳහා ද වහා ක්‍රියාත්මක වීම ද සිදුකෙරිනි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය ප්‍රධාන මාධ්‍ය බලධාරීන් මේ අවස්ථාවේ ක්‍රියාත්මක කළ ආකාරය පැසසුම් කටයුතුය. රජය මාධ්‍ය හැසිරවීමේ දී පසුගාමී බවට තිබූ චෝදනාව මෙතැන දී සත්‍ය නොවන බව ඔවුන් සනාථ කරන්නට සමත්විය.

එසේ වුව ද අප මේ ටික ද කිව යුතුය.

බොහෝ දෙනෙක් පශ්චාත් ආපදා වාර්තාකරණය හෙවත් ආපදාවකින් පසු සිදුකළ යුතු මාධ්‍ය වාර්තාකරණය ගැන කතා කරති. එහෙත් මාධ්‍ය වාර්තාකළ යුත්තේ පශ්චාත් ආපදා තත්ත්වය පමණක් නොව අපාදාවට පෙර තත්ත්වය හා ආපදා විය හැකි අනතුරු ඇඟවීම් තත්ත්වයන් පිළිබඳව ද වාර්තා කළ යුතුය.
එසේ වුව ද අද ශ්‍රී ලංකාවේ එවැනි පෙර හා පසු ආපදා වාර්තාකරණය සම්බන්ධ පැහැදිලි මාධ්‍ය දැක්මක් ඇති බවක් පෙනෙන්නට නැත. ස්වභාවික ආපාවක් සිදුවිය හැකි බවට හෝ එවැනි ආපදාවක් සිදුවන්නේ කවර හේතූන් නිසා ද යන්න හෝ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි දැඩි වර්ෂා අවස්ථාවක දී හෝ කළ යුතු ක්‍රියාමාර්ගයන් ගැන මාධ්‍ය කිසිම අයුරකින් ජනතාව දැනුම්වත් කරනු පෙනෙන්නට නැත. අපේ මාධ්‍ය කරන්නේ ආපදාවක් සිදුවූ විට මරණ ගණන, අතුරුදන්වූවන් ගණන හා දේපල හානිගැනත් යන්තම් වාර්තා කර පසුව ආපදා සහනසේවා ගැන පුන පුනා ප්‍රචාරය කිරීමයි. විද්‍යුත් මාධ්‍ය මෙය සිදුකරන්නේ තමන්ගේ ප්‍රවර්ධනය අරමුණු කරගනිමිනි.

අප විදෙස් මාධ්‍ය ආයතන තම රටේ හෝ වෙනත් රටක ආපදාවක් සිදුවූ අවස්ථාවක දී ක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඔවුන් කටයුතු කරන්නේ මේ රටේ මාධ්‍ය ආයතන ක්‍රියාකරන ආකාරයට සම්පූර්ණයෙන් ම වෙනස් අයුරකිනි. නමුත් එය නිවැරදිය. අපේ මාධ්‍ය හැසිරෙන ආකාරයෙන් ඇතැම් විට ආපදාව යටපත්වීම හෝ කළමනාකරණය වීමට වඩා සිදුවන්නේ තව තවත් සංකීර්ණ හා කළමනාකරණය කරගැනීම අපහසු වීමයි. රජයේ මාධ්‍ය ප්‍රධානීන් මේ ගැන ද අවධානය යොමු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමි. ඉදිරියේ දී එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් අපට ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ආපදා අවස්ථාවක දී තවත් ඉදිරි පියවරක් තැබීමට හැකිවනු ඇත.

Video

RSL

Related Posts