බැඳුම්කර කොල්ලයෙන් මහා භාණ්‌ඩාගාරයත් අනතුරේ.. (විශේෂ)

Spread the love

භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර මහතා පෙරේදා (07 දා) හෙළි කළේය.

මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරුණු පැහැදිලි කිරීමට මහ බැංකුව පියවර ගත් බව ද සරත්චන්ද්‍ර මහතා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‍ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

2017 ජනවාරි මස මුලදී පරිණත වූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට රු. බිලියන 120 ක විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වූ බවද කෙටි කලක්‌ තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් එකවර එතරම් විශාල මුදලක්‌ රැස්‌කර ගැනීමේ දුෂ්කරතාවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදු වූ බවද සරත්චන්ද්‍ර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අනුව එක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් උපරිම වශයෙන් රැස්‌කර ගත හැකි මුදල රු. බිලියන 40 ක්‌ බවට භාණ්‌ඩාගාර ලේකම්වරයාට දැනුම් දීමට මහ බැංකුව කටයුතු කළ බවද ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

ඉදිරි කාලය තුළ තවත් රු. බිලියන 90 ක පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර කල්පිරීමට තිබෙන බවද, එම පැරණි ණය ගැනීම සඳහා ගෙවීම් කිරීමට මහා භාණ්‌ඩාගාරයට අරමුදල් සපයා දීමට සිදුව තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.

මේ අරමුදල් ප්‍රශ්නය ගැන මහ බැංකුව මහා භාණ්‌ඩාගාරයේ භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවද මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරයා කියා සිටියේය.

මේ දුෂ්කර තත්ත්වය සමනය කර ගැනීම සඳහා දළ වශයෙන් හෝ මහා භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාව ලිතව දන්වා එවන ලෙස මහ බැංකුව විසින් මහා භාණ්‌ඩාගාරයට දන්වා ඇති බවද ඒ මහතා කීවේය.

සාමාන්‍යයෙන් රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක්‌ සඳහා භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු කැඳවීම සිදුකරන බවත්, එසේ කරන්නේ පොලී අනුපාත ඉහළ යැම වළක්‌වා ගැනීමට බවත් ඒ මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

රාජ්‍ය ණය අධිකාරි සරත්චJද්‍ර මහතාගේ සාක්‍ෂිය ඊයේ මෙහෙයවනු ලැබුවේ මෙම පරීක්‍ෂණයේදී කොමිසමට සහය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහීඩා බාරි මහත්මිය විසිනි.

තමා ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවයට බැඳුණාට පසුව දෙපාර්තමේන්තු කීපයක තනතුරු දරා ඇති බවත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකු ලෙස ද ටික කලක්‌ සේවය කර ඇති බවත් එහි ප්‍රධානියා ලෙස පත්වීම ලැබෙන විට එම තනතුරේ සිටියේ දීපා සෙනවිරත්න මහත්මිය බවත් සරත්චන්ද්‍ර මහතා සාක්‍ෂිදීම ආරම්භ කරමින් පැවසීය.

RSL

Related Posts