“සුදු වෑන් නැතත්, බලපෑම් එමටයි” – තරුණ ජනමාධ්‍යවේදීන් කතා කරයි

Spread the love

mediaprotestසුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා වුණු බවත් ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

“ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරනුයේ මුළුමනින්ම ජනමාධ්‍ය නිදහස ඇති සමාජයක නොවේ.

පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීහු රැසක් ඝාතනයට ලක් වූහ. තවත් විශාල පිරිසක් විවිධ හිරිහැරයන්ට ලක්වූහ. 2015 ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණය අවස්ථාවේ මෙන්ම 2015 අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණය අවස්ථාවේදී ද ‘ජනමාධ්‍ය නිදහස‘ යන්න දේශාපාලන වේදිකාවේ ප්‍රධාන මාර්තෘකාවක් බවට පත් විය.

සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා විය. ප්‍රවෘත්තියක් ගැන අපක්ෂපාතී වාර්තා කරණයක් සඳහා කරුණු විමසද්දී අමාත්‍යවරයකු මාධ්‍යවේදියකුට බැණ වැදීම , පැහැර ගැනීමට ලක්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට අධිකරණ සංකීර්ණය තුළදීම තර්ජනය කිරීම, අධිකරණ සංකීර්ණය තුළදීම වරාය සභාපතිවරයා මාධ්‍යවේදියකුගේ රාජකාරියට බාධා කිරීම ආදී සිද්ධි කිහිපයක් වාර්තා විය. සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන්ට පහර දීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම ආදී දෑ සිදු නොවන නිසා මෙවැනි දෑ සුළු සිද්ධීන් ලෙස ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් අර්ථ දැක්වුවත් මෙම සිදුවීම්ද සුළු සිදුවීම් ලෙස සලකා ඉවත දැමිය යුතු නොවේ. මේවා මාධ්‍ය මාර්දනයේ ආර්භක අවස්ථා විය හැකිය.

ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමට නම් කළ යුතු ප්‍රධානම කාර්යයක් වනුයේ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ, මාධ්‍ය ආයතන ගිනි තැබූ හා මාධ්‍යවේදීන්ට තර්ජනය කළ පිරිස් නීතිය හමුවට ගෙන ඒමය. ආණ්ඩුව බලයට පත්වී වසර එක හමාරක් ගත වුවද මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා පැහැර ගත් බව කියන සැකකරුවන් පමණි.

ලසන්ත වික්‍රමතුංග, සිවරාම් ඇතුළු ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් රැසකගේ ඝාතකයන් තවමත් නිදැල්ලේය. උදයන්, ලංකා ඊනිවුස් ඇතුළු මාධ්‍ය ආයතන ගිනි තැබූවෝ තවමත් නිදැල්ලේය. එනමුත් ජනමාධ්‍ය නිදහස සීමා කෙරෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස ජනමාධ්‍ය සංවිධාන සහ මාධ්‍යවේදීන් ඉල්ලද්දී ඊට සාමාජිකයන් පත් කර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යළි පණ ගන්වා තිබේ. එය සිදු කර තිබෙන්නේ ද පණතේ සඳහන් ආකාරයට ජනමාධ්‍ය සංවිධානවල අදහස් විමසා නොවේ.

ශ්‍රී ලංකා පුවත් පත් මණ්ඩලය අහෝසි කරන ලෙසත්, පසුගිය කාලයේ මාධ්‍යවේදීන් පැහැර ගත්, ඝාතනය කළ සහ මාධ්‍යවේදීන්ට හිරිහැර කළ පිරිස් මෙන්ම මාධ්‍ය ආයතන ගිනි තැබූ පිරිස් ද ඊට උපදෙස් දුන් පිරිස් ද වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය දා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ජනාධිපතිවරයාටත් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටත් බල කර සිටිමු”.

RSL

Related Posts