මහින්දට තිලංගගෙන් කනේ පහරක්!

Spread the love

පසුගිය ආණ්ඩුව විසින් මීතොටමුල්ල කැළි කසළ පුත්තලමට ගෙනයෑමට සිදු කළ ව්‍යාපෘතිය අති අසාර්ථක ව්‍යාපෘතියක් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (20දා) මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හමුවේ සඳහන් කළේය.

ක්‍රිකට් ඇකඩමියක් සඳහා මල්වතු විහාර පාර්ශ්වයේ ඉඩමක් ලබාදීමේ ගිවිසුමක් අත්සන් තැබීම මල්වතු මහා නාහිමියන් සහ තිලංග සුමතිපාල මහතා අතර ඊයේ මල්වතු විහාරයේදී සිදුකෙරිණි.

එහිදී නියෝජ්‍ය කතානායකවරයා මල්වතු මහා නාහිමියන් හමුවේ මෙසේද පැවසීය.

ලෝකයේ දුප්පත් රටක් මැදි ආදායම් ලබන රටක් බවට පත් වන විට ඒ රටේ ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වනවා. රට තුළ පොලිතින් ඇසුරුම් ආදියෙන් ඝන අපද්‍රව්‍ය වැඩි වනවා. ඒ නිසා රටක් දියුණු වන විට ඒ සඳහා සැලසුම් තිබෙන්න ඕනෙ. මල්වතු මහා නාහිමි, හිටපු ජනාධිපතිවරයා මේ කසළ ප්‍රශ්නය සඳහා යම් වැඩපිළිවෙළක් සහ ව්‍යාපෘති සකස් කර තිබුණා කියා පැවසුවා.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, එයා තමයි මේක කෑවේ. මේ සඳහා ව්‍යාපෘති හතරක් පමණ සාදා තිබුණා. නමුත් එයා කිසි දෙයක් කළේ නැහැ. මම හොඳටම දන්නවා. මේ පිළිබඳය ඇති ප්‍රශ්න දන්නේ නගරයේ ඉන්න අපිනේ. එයා කිසිදෙයක් කළේ නැහැ. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අල්ලාගෙන එයා මෙය බොහොම සැහැල්ලුවට අරගෙන විසඳුමකට ගියේ නැහැ. අන්තිමට ගෝඨාභය මහත්තයාට කීවා මේවා ගිහින් පුත්තලමේ දාන්න කියලා. පුත්තලමට කසළ දාන්න වෙනම කෝච්චියක් යන්න වෙනවා. කෝච්චියකින් කසළ ටොන් එකක් ගෙන යන්න රුපියල් අටදහසක් වැය වනවා. නගරයේ කසළවලට යම් විසඳුමක් දෙන්න එතරම් මුදලක් යන්නේ නැහැ. පුත්තලමේ සිට තවත් කිලෝමීටර් ගණනාවක් මෙය ප්‍රතික්‍රීයකරණය කරන තැනට ගෙන යන්න ඕනෙ. ඒ නිසා මෙය සාර්ථක ව්‍යපාතියක් වෙන්නේ නැහැ. දැන් බොරුවට කියනවා අප විසඳුමක් දුන්නා. පුත්තලමට කසළ දාන්න සැලසුම් කළා කියලා. එය අන්තිම අසාර්ථක ව්‍යාපෘතියක්.
මල්වතු මහා නාහිමි – වසර තිහක පමණ ප්‍රශ්නයට වසර දෙකකින් විසඳුම් දෙන්න බැහැනේ.

නියෝජ්‍ය කතානායකවරයා
අපේ රට කුඩා දුපතක්. දැන් මෙහි මිලියන විස්සක් පමණ ජනතාව ඉන්නවා. මේ ජනගහනය එන්න එන්නම වැඩි වනවා. එවිට කැළි කසළ ප්‍රශ්නයත් වැඩි වනවා. අප ඒ සඳහා විසඳුම් සොයන්න ඕනෙ. කසළ ගෙනත් වතුරේ නවත්වා තියෙන නැවකට දාලා පුලුස්සන ව්‍යාපෘතියක් එංගලන්තයෙන් ගෙනාවා. ඒ අය ණයත් දෙන්න හැදුවා. වතුරේ පුලුස්සන නිසා රස්නෙ අඩුයි. ඒවාගේ ව්‍යාපෘති ගේන විට බලනවා කවුද ලංකාවේ ඒජන්ට්. මේකට කීයක් යනවද. කොමිස් එක කීයද කියල. ඒ කාලෙ ඒවනේ බැලුවේ. එදා මේ කටයුතු සාර්ථක කරගන්න දුන්නේ නැහැ. මේවාට කෙටි විසඳුම් දීලා හරියන්නේ නැහැ. මීට පෙරත් කසළ වෙන් කළානෙ. ඒ වෙන් කළ ඒවත් දැම්මේ එකම තැනට. ඒවා එකම කුණු ගොඩේ දැම්මේ. ඉතින් එදා මේ සඳහා දිගු කාලීන සැලැස්මක් තිබුණෙත් නැහැ.

ඒ නිසා මම ජනාධිපතිවරයාට යෝජනා කළේ අප වෙනම රජයට අයත් ආයතනයක් ස්ථාපිත කරලා නගර සභාව, පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, මුදල් අමාත්‍යාංශය වැනි ආයතන සමඟ ඒකාබද්ධ කර එයට සම්පූර්ණ බලය දිය යුතුයි කියලා. මෙම කසළ ප්‍රශ්නය විසඳන්න දැන් එක් එක්කෙනා මෙය කරන්න ගිය විට මෙයට විසඳුම් සොයන්න බැහැ. ලුණු සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව වගේ ආයතන ස්ථාපිත කළා වගේ රජයට සියයට සියයක් අයත් ආයතන හදන්න ඕනෙ, එහි නිලධාරීන්ට වගකීමක් දීලා විසඳුමක් සොයන්න කියන්න ඕනෙ.

ලංකාවෙම කසළ ටොන් හයදහසකට වඩා එකතු කරනවා. කොළඹ කසළ ටොන් එක්දහස් හයසියයක් පමණ එකතු වනවා. නාගරිකකරණය වෙන්න වෙන්න කසළ ප්‍රමාණය වැඩි වනවා. ඒ නිසා ටොන් විසිදහසක් පමණ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න අප හිතන්න ඕනෙ. අද කොළඹ තියෙන කසළ ප්‍රශ්නය තව ටික දිනකින් නුවරට එනවා. අප දියුණු වන්න, වන්න ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වනවා. එදා අපේ වත්තේ වැළලූ කුණු අද පාරට එනවා. දිනෙන් දින භාණ්ඩ ලබා ගන්නා විට නොයෙකුත් ඇසුරුම් එනවා. ඒ සඳහා පිළියමක් අවශ්‍යයි. අදටත් මේ සඳහා දීර්ඝ කාලීන විසඳුමක් තිබෙනවා කියා මම නම් හිතන්නේ නැහැ.

මල්වතු මහ නාහිමි – විදේශීය රටවල තිබෙන ක්‍රම මේ සඳහා භාවිත කරන්න බැරිද.
නියෝජ්‍ය කතානායකවරයා – එංගලන්තය වගේ රටවල්වල කන්ටේනර්වලට කසළ පුරවා දිනකට කිලෝමීටර් පනහක් හැත්තෑවක් ගෙන ගොස් ඒවා වෙන් කරනවා. පසුව ප්‍රතිචක්‍රීයකරණය කරනවා. මේව වෙන් කරලා ප්‍රතිචක්‍රීයකරණය කළ යුතුයි. නමුත් පළාත් සභාවලට, නගර සභාවලට මේවා වෙන් කරන්න මුදල් නැහැ. ඒ නිසා මෙයට රජය මැදිහත් විය යුතුයි. ජපානය, කොරියාව වැනි රටවල්වල මේ සඳහා ඉහළ තාක්ෂණය භාවිත කරනවා. ගෙවල්වල මේවා වෙන් කරන්න විනයක් ඇති නම් ප්‍රශ්නය මෙතරම් දරුණු වෙන්නෙ නැහැ. කසළ වෙන් කළත් දාන්නේ එකට නිසා ප්‍රශ්න පැන නඟිනවා. මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. මෙතරම් විනාශයක් වෙලත් තවම විසඳුමක් සොයන්න හැකියාවක් නැහැ. මේ කසළ කන්දේ වතුර යටට බැහැලා මීතේන් වායුව නිපදවෙලා, ඒවා අවට ළිං දක්වා පැතිර යන්න පුළුවන්. අප මේ සඳහා විසඳුම් හොයන්න බොහෝ පිටුපසින් ඉන්නෙ. ඒ නිසා මෙය ජනාධිපතිවරයාගේ අතට ගෙන ආයතනයක් වෙනමම පිහිටුවා කටයුතු කළ යුතුයි. රටේම මිනිසුන් කසළවලට භීතියක් ඇතිවෙලා තියෙන නිසා මෙය මහා ව්‍යසනයක් වෙලා.

RSL

Related Posts