සම්බන්ධන්ගේ ප්‍රකාශය වැරැදි ද?

Spread the love

Sampandhan

විපක්ෂ නායක සේ ම ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතිවාදී මත දරන්නන්ගේ මාධ්‍යන්හි විශාල වශයෙන් එයට විරුද්ධව මත දක්වමින් යනු මේ දිනවල දක්නට ලැබෙන්නකි. සම්බන්ධන්ගේ එම ප්‍රකාශය රට දෙකඩ කරවන, හෙළා දැකිය යුතු ප්‍රකාශයක් ද?

සම්බන්ධන් කියා ඇත්තේ, ද්‍රවිඩ ජනතාව පිළිනොගන්නා ව්‍යවස්ථාවක් ගෙන එන්නට ඉඩ නොදෙන බව ය. මෙම ප්‍රකාශය ම වෙන කරුණක් අරභයා වෙනත් දේශපාලන නායකයෙක්, විශේෂයෙන් ම සිංහල නායකයෙක් පැවසුවා නම් මෙලෙස ගිනි ඇවිලෙන්නේ නැත. එපමණකින් ම දෙමළ ජනතාව වෙත මෙරට ජාතිවාදීන්ගේ කඳවුරේ ඇති දැක්ම වටහා ගත හැකි ය. දෙමළ ජනතාව පිළිනොගන්නා ඔවුන්ට සාධාරණය ඉෂ්ට නොවෙනා ව්‍යවස්ථාවකින් ඔවුන්ට ඇති පලය කුමක් ද? එයට එරෙහි වීම ඔවුන් සතු අයිතියක් නොවන්නේ ද? දේශපාලන පක්ෂයක් යනු මරණාධාර සමිතියක් වැන්නක් නොවේ. බලය ලබා ගැනීම මූලික කොට පිහිටුවනු ලබන්නකි. මෙරට මහත් හිරිහැරයට සේ ම අයිතිවාසිකම් කප්පාදුවට ලක් වූ ජනතාවක් වන දෙමළ ජනතාව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙවන් ලෙස මැදිහත්වීම මැදහත් ලෙස භාර ගැනීම ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් වනු ඇත.

ඒ ඔවුන්ගේ අයිතියයි. එයට හිස නමමින්, සියලු ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව සිහිපත් කරමු.

RSL

Related Posts