සතිඅග සළරුව – Room (2015)

Spread the love

room

වසර පහක මුලු ජීවිත කාලයට ම බාහිර ලොවක් නොදැන සිටි දරුවෙක්. තමන් වත් තම දරුවා වත් සිරකර සිටින අඩි දහයයි දහයේ කුටිය තුළ සිය පුතු වෙනුවෙන් ලොවක් ගොඩ නඟන්නට වෙර දැරූ තරුණ මවක්. රූම් චිත්‍රපටය විටෙක අනුවේදනීය විටෙක උද්වේගය දනවන කතාවක් පමණක්ම නොවෙයි. ඇමෙරිකානුවන් හට එරට සමාජ ප්‍රශ්නයක් හා බැඳුණු යමක්ද වනවා. තරුණියන්ව පැහැරගෙන ගොස් වසර ගණන් කුඩා කාමර තුළ, බිම් ගෙවල් තුළ, නිවාස වල සිරකර තබා ගත් විකෘති මානසික මිනිසුන් ගැන ප්‍රවෘත්ති ඇමෙරිකා එක්සත් ජනපදයෙන් විටින් විට වාර්තා වනවා. අදාල සිද්ධි හෙළිදරව්වේත් දී මාධ්‍ය සහ ජනතාව ඒවා කෙරෙහි දක්වන උද්‍යෝගයත් පසුව සියල්ලන්ට ම අවාසනාවට ගොදුරු වූ අයව අමතකවීමත් අතර වන මානසික ඝට්ඨනයෙන් ගොඩ ඒම, එවැනි සිද්ධියකට මුහුණපෑ තරුණියකට ලෙහෙසි කටයුත්තක් නොවෙයි. රූම් චිත්‍රපටයේ අප දකින විශේෂත්වය නම් එහි තරුණ මව, කුඩා කුටිය දරුවාට ලෝකය බවට පත්කර දීමට උත්සාහ කරන අතර ම නිදහස පිළිබඳව බලාපොරොත්තු අත්නොහැර සිටීමයි. එමෙන්ම නිදහස ලද පසු බාහිර ලෝකයට දරුවා අනුගතවන ශූරභාවයයි.

room2

රූම් චිත්‍රපටයේ කතා නායිකාව නාඳුනන පුද්ගලයෙකුගේ ග්‍රහණයට නතුව ගෙවත්තක කුඩා කුටියක සිරකර තබනවිට ඇය දාහත්වියැති කෙළිලොල් තරුණියක්. ඉන් නිදහස ලබත්දී ඈ පස් හැවිරිදි දරුවෙකු සිටින වගකීම් සහගත විසි හතරහැවිරිදි තරුණ මවක්.

තරුණ මවගේ චරිතයට පණපොවන බ්‍රී ලාර්සන් ගේ රංගනය ප්‍රේක්‍ෂක විචාරක කාගේත් නොමඳ ඇගැයුමට පාත්‍රවෙමින් තිබෙනවා. මේ වනවිටත් ඔස්කාර් සිනමා උළෙලේ හොඳම රංගන ශිල්පිනිය ලෙස ඇය නිර්දේශ ලබා ඇති අතර එම සම්මානය ද ඇය විසින්ම දිනාගනු ලබතැයි බොහො දෙනා නොමැලි ව මත පළකරනවා. ලෙනී ඒබ්‍රහම්සන් විසින් අධ්‍යක්‍ෂණය කර ඇති රූම් චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්‍ෂණය සඳහා ද නිර්දේශ ලබා තිබෙනවා. තිර රචනය වෙනුවෙන් එමා ඩෝනහ්‍යු හොඳම අනුවර්තිත තිර පිටපත සඳහා නිර්දේශ ලබා සිටිනවා. රූම් චිත්‍රපටය එමා ඩොනහ්‍යු විසින් ම රචිත නවකතාවක් පදනම් කරගෙන බිහිවූවක්. සාහිත්‍ය සම්මාන කිහිපයක් ම දිනාගත් රූම් නවකතාව ලියා පළකෙරුණේ 2010 වසරේදී යි.

කුඩා දරුවාගේ චරිතය නිරූපණය කරන ළමා නළු ජේකබ් ට්‍රැම්බ්ල ගේ රංගනය සිනමා රසිකයන්ගේ නොමඳ ආදර දිනාගැනීමට සමත් ව තිබෙනවා. කුඩා දරුවන්ගේ රඟපෑම් වල දී නිතර දක්නට ලැබෙන අධිරංගනයකට නොයා ස්වභාවිකව චරිතය ගෙනහැරපෑමට අධ්‍යක්‍ෂකවරයාගේ ශූරත්වයට අමතරව කුඩා ජේකබ් ගේ නිසඟ හැකියාව බොහෝකොට මහෝපකාරී වී තිබෙනවා.

-අඛිල රන්සිරි මලලගේ-

[youtube E_Ci-pAL4eE]

RSL

Related Posts