කුමාර් සහ කුමාරයෝ!

Spread the love

kumar

කලෙක රාජකුමාරයෙක් සේ සිටි යෝෂිත රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහුගේ රක්ෂිත බන්ධනාගාරගත කාලය දැනට දින 28 දක්වා දීර්ඝ කෙරී ඇත.

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් 04 වැනි දා ය. දැන් මාස 3කට ආසන්න කාලයක් ඔහු ද රක්ෂිත බන්ධනාගාරගත ව සිටියි. කුමාර් ගුණරත්නම් යනු කවුරුත් දන්නා පරිදි පහළ පන්තියක ඉපදුණු කෙනෙක් වන අතර ඔහු යෝෂිත මෙන් කුමාරයෙක් නොවේ.

ලංකාවේ පවතින්නේ පාදඩ මාධ්‍ය භාවිතයක් බව බොහෝ අවස්ථාවල ඔප්පු කර ඇති අතර මේ සිදුවීම් දෙක වාර්තා කිරීමේ දී ද එය නැවත වරක් ඔප්පු විය.

කුමාර් ගුණරත්නම් යනු, කවුරුත් දන්නා පරිදි මෙරට පුරවැසියෙකි. ඔහුගේ සොයුරා මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ නිකැළැල් නමක් සටහන් කළ රංජිතම් ගුණරත්නම් ය. කුමාර්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයක් ඇති බව සැබෑ ය. නමුත් ජ.වි.පෙ. දෙවැනි අරගලයෙන් පසු උදා වූ තත්වය මත මෙවැනි බොහෝ සිදුවීම් සිදු වූ බව රහසක් නොවේ. කුමාර් යනු පෙර කී දෙවැනි ජ.වි.පෙ සන්නද්ධ අරගලයේ දී ඉදිරියෙන් ම සිටියෙකි. විවිධ ව්‍යාජ නම්, ගම් ආදිය යොදා ගනිමින් බොහෝ දෙනා රට හැර ගියේ දිවි බේරා ගැනීමට මිස සුඛිත මුදිත දිවියක් සොයා නොවේ. අදාළ වකවානුවේ සන්දර්භය නොසලකා මේ නොයෙල් මුදලිගේ නමින් රටෙන් පළා යෑම විග්‍රහ කිරීම වනාහී තක්කඩිකම මිස අනෙකක් නොවේ.

පසුව 90 දශකයේ මුල් ම භාගයේ ජ.වි.පෙ. ගොඩ නැගීමේ දී කුමාර් මුල් පෙළ නායකයකුව සිටියේ යැ යි බොහෝ දෙනා කියතත්, එය එසේ නොවන බව අප දන්නා කරුණු අනුව කිය හැකි ය. ජ.වි.පෙ. 90 න් පසු සිදු වූ ප්‍රසිද්ධ දේශපාලන ආගමනයේ පළමු විභේදනය කමල් දේශප්‍රිය මාන්නප්පෙරුම ප්‍රමුඛව සිදු විය. ඔහු මහත් ඉතිහාසයක් සමඟ පසුගිය දා පිළිකාවක් හේතුවෙන් දිවි ගමන නිමා කළේ ය. මේ විභේදනය වන විටත් කුමාර් නායකත්ව මණ්ඩලයේ මුල් පෙළ චරිතයක් වී තිබුණේ නැත. කෙසේ වෙතත් අවිවාදයෙන් පිළිගත යුතු තරමේ දක්ෂයෙක් වූ ඔහු පසුකාලීනව ජ.වි.පෙ. ගාමක නායකයෙක් වී සිටියේ ය. විවිධ විභේදනයන් ආදිය අස නොසැලී හුන් ඔහු විමල් වීරවංශ පක්ෂය හැර යද්දී අනුර දිසානායකගේ පාර්ශ්වයට නායකත්වය දුන්නේ ය.

එහෙත් බහුජන දේශපාලනය තුළ සිදුව ඇති පසුබැස්මත්, කේඩරයේ ඇතිව තිබෙන ගැටලු සහගත තත්වයන් සහ ජාතික ගැටලුව සම්බන්ධ මතු වූ සංවාදයත් මත ජ.වි.පෙ. මෑත කාලීන දේශපාලන හැරවුම් ලක්ෂයන් පිළිබඳ මතු වූ අභ්‍යන්තර සංවාදයේ දී වඩාත් වාමවාදී ස්ථාවරය ගත් පිරිස කුමාර් සමග සිටි අතර විමල්ගේ විභේදනයේ දී කුමාර්ගේ පාර්ශ්වය නියෝජනය කළ අනුර දිසානායක මෙවර ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ය.

එනයින් ඔහු ජ.වි.පෙන් කැඩී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස ස්ථානගත විය. හැර යාමකින් පසු ජ.වි.පෙ තම විමතකියන් කෙරේ පළ කරන්නා වූ නිහඬතාවයේ ගිල්වා මරා දැමීමේ න්‍යාය මෙවර ද භාවිත කළ අතර කුමාර් යනුවෙන් තමන් කිසිවෙක් නොදන්නා බව කියන්නට තරම් ඔවුන් නිර්ලජ්ජිත විය.

ජාතික ගැටලුව සම්බන්ධයෙන් ජ.වි.පෙට වඩා තමන් වෙනස් වන්නේ කුමන කරුණු මත දැ යි කියා පෙරටුගාමී සමාජවාදී පක්ෂය තවමත් තහවුරු කර නැත. කැඩී වෙන් වෙන වෙනත් වාම පක්ෂයක් මෙන් ම තමන් නියම වම යැයි ඔවුන් කියා ගනිමින් විවිධ දේශපාලන කටයුතු වල ද නිරත වෙයි.

කුමාර් අත්අඩංගුවට ගැනෙන්නේ ශිෂ්‍ය සටන් නැවත වරක් පාරවල් මත ඇවිලයමින් තිබිය දී ය. එහි ඇතුල්පස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය බව සැකයක් නැත. එවැනි සන්දර්භයක හදිසියේ කුමාර් අත්අඩංගුවට ගැනෙන්නේ දේශපාලන හේතුන් මත බව අප කවුරුත් පිළිගත යුතු ය.

ඔවුන් සමඟ අපට ද පරස්පරතා තිබිය හැකි වුව ද මේ භූමිය මත දේශපාලනය කරන්නට කුමාර් ගුණරත්නම්ට ද අයිතියක් තිබිය යුතු ය. ඒ වෙනුවෙන් මෙරට ප්‍රධාන කිසිදු ධාරාවක කිසිවෙක් පෙනී සිටින්නේ නැත. මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ කෙරුවාව එසේ ය. ඔහුට මෙරට පුරවැසිභාවය ලබාදෙන්නට ඇති නොහැකියාව කුමක් ද? ඔහු මේ භූමියේ පුත්‍රයෙක් නොවන්නේ යැ යි කාට නම් කිව හැකි ද?

මෙම ප්‍රශ්නය කෙරෙහි කිසිදු සිවිල් සංවිධානයක් ඉදිරිපත් නොවේ. මාංචු පිටින් බසයට නගින කුමාර් අත් ඔසවා අනික් දේශපාලුවන් මෙන් ආඩම්බර පාන්නේ ද නැත. ඒ බව වාර්තා කරන්නට ලයිව් ඇට් අහවල් කණ්ඩායම් යන්නේ ද නැත.

මිනීමරුම් චෝදනාවකට වරදකරු වී රටින් පැන ගිය ප්‍රකට නිලියකගේ සැමියා ප්‍රබල ඇමැතිවරයෙක්ගේ අනුග්‍රහය මත මෙරට ආ බව පසුගිය කාලයේ ආරංචි පැතිර ගියේ ය. මෙය මහා පුදුමයකි. එක රටකි. නීති එකකි. දෙදෙනෙකුට ඒවා ක්‍රියාත්මක වන ආකාර නම් දෙකකි.

මෙරට මහා ප්‍රජාතන්ත්‍රවාදියා මෙන් පෙනී ඉන්නා අගමැතිවරයාට මෙය විමල්ගේ පාස්පෝට් ප්‍රශ්නය විසඳුවාට වඩා පහසුවෙන් විසඳන්නට හැකි ය. මන්ද යත් ඔවුන් ඉල්ලන්නේ නිදහසේ දේශපාලනය කිරීමේ අයිතිය යි. කුමාර් නිකන් ම නිකන් පුද්ගලයෙක් නොවේ. ඔහු පිටුපස මෙරට පුරවැසියන් පිරිසක් හිඳිති. මෙරට ද්විත්ව පුරවැසියන් බොහොමයක් සුවසේ වාසය කරති. සැප සම්පත් ඇති ඕස්ට්‍රේලියාව හැර දා තම මව් රටේ නවතින්නට ය, ඔහුගේ ඉල්ලීම.

මේ සියල්ල නොසලකා ඔවුන් කැලයට තල්ලු කර දමන්නේ නම් ඒ පිළිබඳව ඉතිහාසය විසින් දිනෙක වත්මන් පාලකයන් ගැන නිවැරදිව සටහන් කරනු ඇත.

සඳුන් ප්‍රියංකර විතානගේ

RSL

Related Posts