ජනපති මෛත්‍රී ඉතිහාසය ඓතිහාසිකව වෙනස් කරයි (විශේෂ)

Spread the love

දේශමාමක විරුවන් දේශ දෝහීන් ලෙස නම් කරමින් ලබා දුන් වැරදි තීන්දුව නිවැරදි කිරීමේ ඓතිහාසික අවස්ථාව ලක්වාසී සියලු දෙනාට මහත් අභිමානවත් අවස්ථාවක් ලෙස සැමරිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා, ‍පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බව ද මේවැනි අනභිභවනිය අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් ‍කළේ දළදා මාළිගාවේ මඟුල් මඬුවේ දී ඊයේ(1)පැවැති ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට නායකත්වය දුන් ජාතික විරුවන් අසූදෙදෙනකු ජාතික විරුවන් ලෙස නම් කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් තබමිනි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සවස 4.44ට යෙදුණු සුබ හෝරාවේදී ජනාධිපතිවරයා විසින් අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබන ලදී.

වසර 199ක් ජාතියට කරන ලද අවමානය නිවැරදි කරමින් අප්පුරාළ ආරච්චිල ඌව, අරම්පොළ (ලොකු) මොහොට්ටාල, සත් කෝරළය, අලුත් නුවර අප්පුවා, සබරගමුව, අලුවිහාර‍ නිලමේ මාත‍ලේ ආදී විරුවන් අසූ දෙදෙනකුගේ නාම ලේඛනයකට ජනාධිපතිවරයා අත්සන් කරන ලදී.

උත්තමාභිවන්දනා යළි ලියැවෙන වීර නාමාවලිය ලෙස මෙම අනභිභවනීය‍ උළෙල නම් කර තිබුණි.

1815 වසරේ මාර්තු මස (2) අද වැනි දිනෙක සිංහල නායකයෝ උඩරට ගිවිසුම අත්සන් කොට රටේ පාලනය බ්‍රිතාන්‍යයන්ට භාරදුන් අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී එම ගිවිසුම අත්සන් කරන දිනයේ දී (1815 මාර්තු 02) බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිංහල කොඩිය බිම දමා බ්‍රිතාන්‍ය කොඩිය එසවීය. එය දුටු වාරියපොල ශ්‍රී සුමංගල හිමියෝ ගිවිසුම අත්සන් කර අවසාන වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් බ්‍රිතාන්‍ය කොඩිය පහත දමා නැවතත් සිංහල කොඩිය එසවීමට පියවර ගත්හ. එහිදී උන්වහන්සේ ඉටුකළ ශ්‍රේෂ්ඨ ක්‍රියාව අර්ථවත් කරමින් ඌව වෙල්ලස්ස ප‍්‍රථම නිදහස් අරගලයට දායක වූ හෙළ විරුවන් දේශප්‍රේමින් ලෙස ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිණි.

වසර 1818 ජාතික නිදහස් අරගලයට නායකත්වය ලබා දීම හේතුවෙන් දේශීය විරුවන්ට රාජ්‍ය දෝහීන් ලෙස නම් කර මරණ දණ්ඩනය නියම කිරීමත් සහ රටින් පිටුවහල් කිරීමටත් සුදු අධිරාජ්‍යවාදීන් විසින් කටයුතු යොදා තිබුණි.

වසර 1948 නිදහස ලබා ගැනීමෙන් පසු මේ වරද නිවැරැදි කිරීමට වරින් වර උත්සාහ කළඳ එය ව්‍යර්ථ වූ බවත් එහෙත් මීට පෙරාතුව කළ යුතු කාර්ය ප්‍රමාද වී‍ හෝ සිදු කිරීමට ලැබීම සතුටට කාර්යයක් බවත් ජනාධිපතිවරයා පැවැසීය.

නිදහස්, ස්වාධීන රටක් ලෙස ලෝකයේ තවත් රටකට දෙවෙනි නොවන අයුරින් ශ්‍රීලංකාවේ ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා‍ අනාවරණය කළේය.

ඉංග්‍රීසි පාලකයන් විසින් ඔවුන්ට එරෙහිව සටන් කළ දේශීය රණකාමීන්, විරුවන්, දේශප්‍රේමීන්, දේශමාමකයන්, ජාති හිතෛශීන්ගේ ජීවිත අහිමි කළා. ඔවුන්ගේ දේපළ පවරා‍ ගත්තා. මාතෘභූමියෙන් පිටුවහල් කළා. එම ඉංග්‍රීසි පාලකයන් සිදු කළ ඛේදජනක සිද්ධිය අප විසින් නිවැරදි කළා. ඒ සියලු දෙනා දේශප්‍රේමී රණවිරුවන්, විරුවන් , ශ්‍රී ලංකා මාතෘභූමියේ ලංකා පුත්‍රයන් ලෙස අද ගැසට් නිවේදනයක් දෙවන වරට නිකුත් කළා. ඉංග්‍රීසි පාලකයන් විසින් ජාති දෝහීන්, රාජ්‍ය දෝහීන් ලෙස කරන ලද ගැසට් පත්‍රය අහෝසි කරන අවලංගු කරන දිනයයි. ශ්‍රී ලාංකිකයන්ට, සිංහල බෞද්ධයන්ට රටේ ඉතිහාසයේ වැදගත් උතුම් වැදගත් දිනයක් ලෙස මා විශ්වාස කරනවා.

වසර 1505 සිට 1948 දක්වා වසර හාරසියයක් රට නිදහස් කර ගැනීම සඳහා දේශප්‍රේමී ජනතාව ගෙන ගිය ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවි පිදූ පිරිස මෙතැකැයි කියා කිව නොහැකියි. හෙට දවස උදා වෙන්නේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ජාතික නිදහස් අරගලය වෙනුවෙන් අභිමානවත් ලෙස වීරත්වය පෙන්නූ වාරිය පොළ හිමි ගුණසැමරුව බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ජනාධිපතිවරයා පැවසීය.

RSL

Related Posts