ප්‍රතිලාභ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්

Spread the love

ජනතාවට ලබාදෙන සුබසාධන දීමනාදිය ලබාදීම වඩාත් ක්‍රමවත්ව, ඉලක්කගතව සහ විනිවිදව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම සුබසාධන ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් රජය විසින් හඳුන්වා දෙයි. මේ වැඩපිළිවෙළ යටතේ ජනතාවට ලබා දෙන විද්‍යුත් දත්ත සංචිතයක් සකස්කර එම වෙබ් අඩවිය හරහා එම තොරතුරුවලට ප්‍රවේශවීමට හැකියාව ලබා දෙයි.

http://socialregistry.gov.lk යන වෙබ් ලිපිනය හරහා දැනටමත් මේ දත්ත සහිත වෙබ් පිටුව ජනතාවට විවෘත කර ඇති අතර එමඟින් සුබසාධන සේවා සඳහා රජය ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිළිබඳවත්, ඒවා ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශ ආදියත්, වැය කර ඇති මුදල් ප්‍රමාණය ආදී තොරතුරු රාශියකට ප්‍රවේශ වීමේ හැකියාව ලබා දී ඇත. මේ දත්ත තවමත් මූලික අදියරේ පවතින අතර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා එම දත්ත නැවැත තහවුරු කිරීමට නියමිතය.

මේ ක්‍රමවේදය හරහා සුබසාධන ප්‍රතිලාභ ලබන සියලුම දෙනා පිළිබඳ නිවැරැදිව තොරතුරු දැනගැනීමට හැකිවන අතර සොරකම්, ගසාකෑම්වලින් සහ වංචාවන්ගෙන් තොරව නිවැරැදිම පුද්ගලයන් වෙත විනිවිද ක්‍රියාවලියක් තුළින් තම සුභසාධන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම මෙහි මූලික ප්‍රතිලාභයයි. දීප ව්‍යාප්තව සුබසාධන ව්‍යාපෘති විසිරී ඇති ආකාරය හඳුනා ගනිමින් එම ව්‍යාපෘතිවල ප්‍රගතිය ආදිය පිළිබඳ දත්ත ලබාගත හැකි පර්යේෂණ මූලාශ්‍රයක් ලෙසද මෙය හඳුනාගත හැකිය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ සංකල්පයක් අනුව ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ITCA) එක්ව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

වසර ගණනාවක් තිස්සේ විවිධ රජයන් යටතේ දරිද්‍රතාවය අවම කිරීම අරමුණ කරගනිමින් ඉතා විශාල ජන කොටසකට සුබසාධන පහසුකම් සපයනු ලැබුවද විවිධාකාරයෙන් සිදුකරන ගසාකෑම් ආදියත් නිවැරැදි පුද්ගලයා වෙත එම සුබසාධන පහසුකම් නොලැබී යාම ආදිය නිසා එම ව්‍යාපෘතිවල නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි වීම ජාතියේම අවාසනාවක් බවට පත් වී ඇත. ඒ අනුව මේ ව්‍යාපෘතිය මගින් එවැනි අකටයුතුකම්වලින් තොරව නිවැරැදිව, නිරවුල්ව සහ විනිවිද ක්‍රියාවලියක් යටතේ මනාව ඉලක්කගතව අනාගත සුබසාධන පහසුකම් ලබාදීමට හැකිවනු ඇත.

-දිනමිණ-

RSL

Related Posts