අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් කූට උපායක!

Spread the love

ළඟදීම විශ්‍රාම යැමට සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්‌ විසින් රාජ්‍ය සේවකයන්ට 2020 වසරේ වැඩි කළ යුතු වැටුප් කුමන්ත්‍රණකාරී ලෙස කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් 2016 සිටම වැඩිකර දීම නිසා වැටුප් ගෙවීමට වැයවන මුදල සියයට හැත්තෑවකින් (70%) පමණ ඉහළ ගොස්‌ ඇත.

අදාළ ඉල්ලීම නිසා දැනට ගණනය කර ඇති ආකාරයට රාජ්‍ය සේවා වැටුප් ගෙවීමට ආණ්‌ඩුවට වසරකට රුපියල් මිලියන 17,880 ක අමතර මුදලක්‌ අනිවාර්යයෙන්ම වැය කිරීමට සිදුවන අතර 2016 සිට 2020 දක්‌වා විශ්‍රාම යන ප්‍රමාණය අනුව මෙය තවත් ඉහළ යන බව රජයේ පරිපාලන නිලධාරියෙක්‌ ‘දිවයින’ට කීය.

වත්මන් රජය බලයට පත්වූ පසු 2016 වසරේ සිට රජයේ සේවකයන්ට වසරකට රුපියල් 2000 බැගින් වසර 5 කදී රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමට නියමිතය. එහෙත් එම තීරණය එය සම්පූර්ණ වන 2020 වසරට පෙර විශ්‍රාම යන සේවක පිරිසට එම වැටුප් වැඩි කිරීම 2016 වසරේ සිටම සිදුවූ ලෙස සලකන ලෙසට විශ්‍රාම යැමට ආසන්නයේ සිටින අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක්‌ විසින් කැබිනට්‌ අනුමැතිය ලබාගෙන තිබේ.

රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා එක්‌තරා අමාත්‍යාංශයක කාර්යාලයකට ගෙන්වාගෙන අත්සන ලබාගෙන කැබිනට්‌ මණ්‌ඩලය ද නොමඟ යවමින් එම යෝජනාව සම්මත කරගෙන ඇත.

මෙසේ වැටුප් වැඩි කිරීමෙන් රජයට අමතරව වසරකට රු. මිලියන 141 ක්‌ පමණ වැය වන බව එහිදී ඔවුන් කැබිනට්‌ මණ්‌ඩලයට ඒත්තු ගන්වා ඇත. එහෙත් එම යෝජනාව රජයට හිඟ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 4080 ක්‌ සහ විශ්‍රාමික පාරිතෝෂික පමණක්‌ ගෙවීමට තවත් රුපියල් මිලියන 13,800 ක අමතර මුදලක්‌ වැය වන බවට විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඉකුත් 7 දා රජයට වාර්තාවක්‌ ඉදිරිපත් කර තිබේ.

අමාත්‍යාංශ රැසක දැනට සිටින ලේකම්වරුන් 2019 වසරේ හෝ ඊට පෙර විශ්‍රාම යැමට නියමිත බැවින් 2020 දී ලැබෙන රුපියල් දෙදහසේ වැටුප් වැඩිවීම අහිමිවීම වළක්‌වා ගැනීමේ අරමුණින් මෙම යෝජනාව සම්මත කරගෙන ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත් දැනට රාජ්‍ය සේවයේ නියුතුවූවන්ගේ වැටුපට වඩා වැඩි වැටුපක්‌ විශ්‍රාමිකයන්ට ගෙවීමට සිදුවන අතර මේ නිසා රාජ්‍ය සේවයේ දරුණු වැටුප් විෂමතාවක්‌ ද ඇතිවීමට ඉඩ ඇත.

RSL

Related Posts