ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)

Spread the love

ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ.

අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ.

සෙම් රෝගී තත්ත්වයෙන් පෙළී ඇති බව කියන සංකර් සජී නමැති මෙම දැරිය උණ උත්සන්න වීමෙන් උණ වලිප්පුව ඇතිවීම නිසා ඊයේ අලුයම රෝහලට ඇතුළත් කළ ද එහි වෛද්‍යවරු කිසිවෙක්‌ තම දියණිය පරීක්‍ෂා කර ප්‍රතිකාර ලබා නොදුන් බව දෙමවුපියෝ පවසති. එහෙත් ළදැරිය මියගොස්‌ ඇත්තේ ඒ දක්වා ලබාදුන් ප්‍රතිකාර නිමවා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මගින් පේරාදෙණිය රෝහල වෙත ගෙන යා යුතු වුවද වෛද්‍යවරුන්ගේ අවවාද නොතකමින් හිතුවක්කාරී ලෙස ගලහ රෝහලේ සිට පේරාදෙණිය රෝහල වෙත ත්‍රිරෝද රථයකින් ගෙනයමින් සිටියදීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද(29) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.

මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම පළාත් ශාඛා සංගමය මගින් සිද්ධියට අදාල මුලික තොරතුරු අප වෙත දැනුම් දී ඇත.

ඒ අනුව ගලහා ප්‍රාදේශීය රෝහල යනු, ඊයේ දිනය තුල ගලහා රෝහලට ඇතුලත් කල දරුවා වැනි හදිසි අවස්ථාවකට මුහුණ දීම පිළිබඳ වගකීම සහිත උපාධිධාරි වෛද්‍යවරුන් එක් අයෙක් පමණක් සේවය කරන රෝහලකි. දිවයින තුල ඇති මෙවන් වර්ගයේ රෝහල් 150 – 200 ක් අතුරින් ගලහා යනු එක් රෝහලකි. මෙම රෝහල තුල උපාධිධාරි එක් වෛද්‍යවරයෙකු පමණක් සේවය කලද මෙවන් අවස්තාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන හෙද නිළධාරින් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩලය අවශ්‍ය තරම් නොමැත.
ඊයේ දිනයේ සිද්ධිය පිළිබඳ විවරණය කල යුත්තේ මෙම පසුබිම සැලකිල්ලට ගනිමින්ය.

මෙවන් අවස්ථාවක එක් අසාධ්‍ය රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර තවත් හදිසි අනතුරකින් අසාධ්‍ය තත්ත්වයට පත් වු රෝගීන් කිහිපදෙනෙකු සිටියේ නම් සිදු කල යුත්තේ කුමක්ද?

මේ සියල්ල හා ඊයේ දිනයේ සිදු වු දරුවකු මිය යාමේ අවාසනාවන්ත සිදු වීම පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරි විමර්ෂණ වලදි හෙලි වනු ඇත. ඒ වන විට මෙම සිද්ධිය බොහෝ දෙනාට අමතක වීමටද ඉඩ ඇත.

කෙසේ නමුත් මේ මොහොතේ තම ජිවිතය මෙන්ම දේපලද බරපතල අවදානමට ලක් වු වෛද්‍යවරයා ඇතුලු රෝහලේ කාර්යමණ්ඩලයට මේ මොහොතේ දරා ගැනිමට සිදු වු මානසික තත්ත්වයට ඒ හරහා සාධාරණය ඉටු වනු ඇත්ද?

මෙම තත්ත්වය යටතේ රට පුරා අඩු පහසුකම් සහිත පර්යන්ත රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ඔහුන්ගේ ආරක්ෂාව පිළිබඳ සලකා එම රෝහල් වල තව දුරටත් සේවයේ නියැලිම පිළිබඳව සහ එවැනි අඩු පහසුකම් සහිත රෝහල් වලට ඉදිරියේදි වෛද්‍යවරුන් යොමු කිරීම පිළිබඳවද සලකා බලන ලෙස අප හට ඉල්ලීම් කර ඇත.

පසුගිය කාලය තුල රටේ ජනතාවට බලපාන හා බලපෑ සයිටම් ගැටලුව හරහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට ලක්වීම, කිරිපිටි වල අඩංගු ෘක‍ෘ වැනි විෂද්‍රව්‍ය, ග්ලයිෆෝසේට් ගැටලුව, සිංගප්පුරු වෙළඳ ගිවිසුම වැනි ගැටලු මතු කිරීම නිසා දේශපාලනඥයන්ගේ උදහසට ලක් වීමට වෛද්‍යවරයාට සිදු විය. ඒ නිසා වෛද්‍යවරුන්ට එරෙහිව ද්වේශ සහගතව ජනතාව කුපිත කරවන සුලු ප්‍රකාශ නිකුත් කරමින් කටයුතු කල සමහර දේශපාලනඥයින් මෙවන් සිද්ධින් වල වගකීම භාරගත යුතු බව ඉතා පැහැදිලිය.

එමෙන්ම හෙද නිලධාරින් ඇතුලු අනිකුත් කාර්ය මණ්ඩලය නිසි පරිදි ස්ථානගත කිරීමකින් තොරව ආකර්යක්ෂම ලෙස කටයුතු කරන සෞඛ්‍ය බලධාරින්ද මෙවන් සිද්ධින් වල වගකීම දැරිය යුතුය.

පවතින තත්ත්වය සැලකිල්ලට ගත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පහත සඳහන් කරුණු අවධාරණය කිරීමට තීරණය කරන ලදි.

1. ගලහා රෝහලේ වෛද්‍යවරයා ඇතුලු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා එල්ල කරමින් තර්ජනය කල සහ වෛද්‍යවරයාගේ ඇතුලු කාර්ය මණ්ඩලයේත් රෝහලේත් දේපල වලට හානි සිදු කල සියලු දෙනා වහාම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය. එය සිදු නොවන්නේ නම් ශාඛා සංගමයේ තීන්දු තීරණ සැලකිල්ලට ගෙන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් වනු ඇත.

2. ඊයේ දිනයේ ගලහා රෝහල තුල ඇති වු තත්ත්වය පිළිබඳ අපක්ෂපාති කඩිනම් තාක්ෂණික හා පොලිස් පරීක්ෂණයක් සිදු කර නිවැරදි කරුණු කල් නොයවා රටට ඉදිරිපත් කල යුතුය.

3. වෛද්‍යවරයාගේ ආරක්ෂාව පැහැදිලිව ස්ථාපිත කරන තුරු අදාල වෛද්‍යවරයා ගලහා රෝහලෙන් වහාම ඉවත් කරගැනිමට අප කටයුතු කල අතර නැවතත් කිසිඳු වෙනත් වෛද්‍යවරයෙකු ගලහා රෝහල වෙත යොමු නොකරනු ඇත.

4. දිවයින පුරා ඇති මෙවන් අඩු පහසුකම් සහිත රෝහල් වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම නැවතත් සමාලෝචනය කරන ලෙස අපගේ සාමාජික වෛද්‍යවරුන් බහුතරයගේ මතය වී ඇත. මුලික පහසුකම් නොමැතිව දිවයින පුරා ඇති මෙවන් රෝහල් සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම වහාම අත්හිටුවිය යුතුය. ඒ අනුව හෙද නිලධාරින් ඇතුලු ප්‍රමාණවත් කාර්ය මණ්ඩලය නොමැති උතුරු නැගෙනහිර ඇතුලු දිවයිනේ රෝහල් ගණනාවක් වැසියාමේ අනතුරක් මේ හරහා මතුවන බව පෙනියයි.

ඒ අනුව නැවත මෙවන් අවාසනාවන්ත සිදු වීම් සිදු නොවන බව සහතික වන පරිදි තීන්දු තීරණ ගැනිමට බලධාරින් කටයුතු කල යුතු බව අවධාරණය කරමු. ඉහත කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස්පතිතුමන්ගේ සහා සෞඛ්‍ය ලේකම්ගේ අවදානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන මෙන් ලිපි යොමු කර ඇත.

මෙම සිදුවීමට අදාළ කුඩා දරුවෙකු මිය යාම සහ එය මුල් කරගනිමින් ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.

RSL

Related Posts