කෝප් කෝටි ගාණක පරණ බෙහෙත් වටලයි

Spread the love

kelaniya-medicineඖෂධ සංස්ථාවට අයත් කැලණිය ගෝනවල ඖෂධ ගබඩාවක ඊයේ(22) කළ හදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන දහසකට වඩා වටිනා කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සොයා ගැනීමට කෝප් කමිටුවට හැකි විය.

මෙම වැටලීමට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි සහ ඥානමුත්තු ශ්‍රී නේශ්වර්ම් මහත්වරු එක්ව සිටියහ.

මෙහිදී මාධ්‍යයට ප්‍රකාශයක් කළ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය. පොදු ව්‍යාපාරක කාරක සභාව ඖෂධ සංස්ථාවට අයත් මෙම ගබඩාවේ මේ වැටලීම සිදු කළේ ලද තොරතුරක් මතයි.

මෙහි කල් ඉකුත් වූ හා භාවිතයට නුසුදුසු ඖෂධ රැසක් අප විසින් සොයාගනු ලැබුවා. මේවා ගබඩා කර තිබුණේද කිසිදු ක්‍රමවේදයකට නොවනා බව ද අප විසින් දුටුවා. විශේෂයෙන් මෙම ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ල තුළ මෙම ඖෂධ සඳහා කිසිදු සුදුසු භාවයක් නැති බව ද කිව යුතුය.

විශේෂයෙන් පොදු ව්‍යාපාර කාරක සභාව වෙතට ඖෂධ සංස්ථාවේ නිලධාරීන් ගෙන්වා කළ පරීක්ෂණවලදී මෙම සංස්ථාවේ සිදුව ඇති දූෂණ ක්‍රියා රැසක් හෙළිකර ගනු ලැබුවා. මේ නිසා සාම්පල් පවා පරීක්ෂා නොකර රට තුළට ගෙන්වන ඖෂධ වලට අති විශාල මුදලක් ගෙවනවා. එසේ ගෙන්වන ඖෂධ මේ අන්දමට නාස්තියට පත්වීම දැරිය නොහැකි පාඩුවක් සේම රෝගී ජනතාවට ද සිදු කරන අසාධාරණයක්.

මෙහිදී පසුගිය වසර කීපයක සිට මේ දක්වා රුපියල් මිලියන එක්දහස් විසිදෙකක වටිනාකමකින් යුත් ඖෂධ විනාශ කර ඇත.

මේ වන විට රුපියල් කෝටි 30ක ඖෂධ විනාශ නොකර තිබේ. මේ අපේ පරීක්ෂාවට ලක්වනුයේ එක් ගබඩාවක ඖෂධ පමණි. මෙවැනි පරීක්ෂාවට ලක් නොවූ තවත් ගබඩා දෙකක් තිබේ.

රජයේ රෝහල්වල ඖෂධ නොමැති බවට නැඟෙනා මැසිවිලි අප අසා ඇත. මෙම ගබඩාව තුළ රජයේ වෛද්‍ය සැපයීම් අංශයට නිකුත් කිරීමට තිබෙනා ඖෂධ වර්ග ද තිබුණා. මේ පාරිසරික හා නුසුදුසු ගබඩා පහසුකම් මැද මෙහි කල් ඉකුත් වූ හා ඉකුත්වීමට ආසන්න ඖෂධ රැසක් අප සොයා ගත්තා.

මේ ගබඩාව භාරව හා ඖෂධ නිකුත් කිරීමට මෙහි සිටිනුයේ එක් නිලධාරියෙකු පමණි. මේ සුදුසු හා නුසුදුසු ඖෂධ නිකුත් කිරීම තීරණය කරනුයේ මේ නිලධාරියා විසිනි. මෙය බරපතළ තත්ත්වයකි. මෙහි ඖෂධ ගබඩා කර තිබෙනා හා නිකුත් කරනා ක්‍රමවේදයන් ඇතුළු සියල්ලම වැරදිය.

ඖෂධ ගබඩා කර තැබිය යුතු වාතාශ්‍රය, පරිසරය මෙම ගබඩාව තුළ නොමැත. මේ විනාශ වනුයේ අප රටේ රෝගීනට පාවිච්චියට ගත හැකි බේත් වර්ගයන්ය. මෙම ‍ඖෂධ මෙරටට ගෙන්වන ක්‍රමවේදයේ ද බරපතළ වරදක් තිබේ.

මෙරටට ගෙන්වන ඖෂධ වරායේදී හෝ ගුවන්තොටේදී පරීක්ෂාවට ලක් කරනා යාන්ත්‍රණයක් අප රටේ නැත. කල් ඉකුත් වන දින නොමැති ඖෂධ වර්ග ද මේ රටට ගෙනැවිත් ඇත.

ලංකාවේ ජනතාවගේ මුදල් මිලියන ගණන් පසුගිය කාලයේ සිට මේ දක්වා අපතේ ගොස් ඇත. විශේෂයෙන් පසුගිය කාලයේ ඖෂධ ගෙන්වීම සඳහා තීරණ ගත් උදවිය එසේ කර ඇත්තේ යම්කිසි ලාභයක් තම සාක්කුවට දමා ගෙන බව දැන් හෙළිවෙමින් පවතී. මේ රටේ ඖෂධ මාපියාවක් තිබෙනා බවට සාක්ෂි ඕනෑතරම් තිබේ.

පසුගිය කාලයේ කළ ඇනවුම් සඳහා වන ඖෂධ තවමත් ගබඩා තුළ ඇත. මේවා විනාශ කර දමන්නට බැරි තත්ත්වයක් ද උදා වී තිබේ. මෙවැනි අන්දමට ඖෂධ විනාශ කර දමා රටේ ජනතාවගේ රෝගී තත්ත්වයන් සුව කළ නොහැකියි.

පැරසිටමෝල්, ඇමොක්සිලින් මෙන්ම එන්නත් පවා ද විනාශ කර දමන තත්ත්වයේ තිබේ. 2011 වසරේ කල් ඉකුත් වූ ඖෂධ තවම විනාශ නොකර තිබේ.

මෙහි බරපතළ තත්ත්වය නම් මේ ඖෂධ පෞද්ගලික ෆාමසි මෙන්ම වෛද්‍ය ආයතන තුළට ද යා හැකි තත්ත්වයක් තිබේ. එසේ නොවන්නට සහතික මේ ස්ථානයේ නොමැත. ඉදිරියේදී අප මේ තත්ත්වයන් වළක්වන්නට ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.

මෙහිදී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ඇමැති පිරිස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ කාර්මික වැඩබිම ද පරීක්ෂාවට ලක් කරන ලදී. එහිදී අක්‍රමවත්ව ගොඩනඟා ඇති ගොඩනැඟිලි සහ දිරාපත්වන වාහන, යන්ත්‍ර සූත්‍ර රැසක් නිරීක්ෂණයට ලක් කරනා ලදී.

-දිනමිණ-

RSL

Related Posts