කාන්තාවන් 2206කට මන්ත්‍රී වරම්!

Spread the love

Group of Womenඉදිරි පළාත් පාලන ආයතන සඳහා කාන්තාව 2206ක් වෙනම කාන්තා ලැයිස්තුවක් යටතේ මන්ත්‍රීවරියන් ලෙස අනිවාර්යයෙන් ම පත් කර ගත යුතු බවට ද, පත් කළ යුතු නව මුළු මන්ත්‍රීවරුන් ගණන 8825 දක්වා වැඩි විය යුතු බවට ද පාර්ලිමේන්තුව මඟින් නීති රෙගුලාසි අනුමත කර ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් ම කොට්ඨාස හා සමානුපාතික යන ක්‍රම දෙකේ සංකලනයක් ලෙස පවත්වන බවත් ඒ අනුව එම ආයතනවල අලුත් මන්ත්‍රී සංඛ්‍යාව එහි සිටි පැරණි මන්ත්‍රී සංඛ්‍යාව වූ 4486 මෙන් දෙගුණයක් පමණ වන බවත්, කාන්තා නියෝජනය අනිවාර්යයෙන් ම සියයට 25 ක් විය යුතු බවත් පළාත් පාලන ආයතනයේ නීති නිලධාරිනි ගයනි ප්‍රේමතිලක මහත්මිය පවසන්නීය.

2012 අංක 22 දරන පළාත් පාලන ඡන්ද විමසිම් සංශෝධන පනත හා 2016 අංක 1 දරන පළාත් පාලන ඡන්ද විමසීම සංශෝධන පනත යටතේ මෙම වෙනස්වීම් සිදු කර ඇති බව ද නව සං‍ශෝධන අනුව සෑම ඡන්ද කොට්ඨාසයකටම අනිවාර්යයෙන් මන්ත්‍රීවරයකු පත් වන බව ද ඇය කීවා ය.

අලුත් සංශෝධන අනුව ඉදිරියේ පුංචි ඡන්දය සඳහා සෑම පක්ෂයකින් ම කොට්ඨාස හා සමානුපාතික ලෙස ඡන්දයෙන් තේරී පත් වන අපේක්ෂකයන් ඇතුළත් නාම යෝජනා පත්‍රයක් හා කාන්තා නියෝජනය ඇතුළත් වෙනම නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතු ය. කෙසේ ‍වුවත් එම කාන්තාවන් මැතිවරණයට තරග නොකරන අතර ඔවුන්ට මන්ත්‍රීධූර හිමි වන්නේ තමා ඉදිරිපත් කළ පක්ෂය ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව ය. එමෙන් ම එම මන්ත්‍රී තනතුරු ලැබෙන්නේ කාන්තා ලැයිස්තුවේ උඩ සිට පහළට ඇති අනුපිළිවෙළ අනුව බව නීති නිලධාරිනිය පෙන්වා දුන්නේ ය.

උපුටා ගැනීම: සිළුමිණ

RSL

Related Posts