මේ ආණ්ඩුව ඇයි වස විසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය විනාශ කළේ?

Spread the love

වත්මන් ආණ්ඩුව වසවිසෙන් තොර බෝග වගා ව්‍යාපෘතිය කඩාකප්පල් කළ බවත් එම නිසා ගොවීන්ට රජයෙන් දෙන රසායනික පොහොර ගැනීමට සිදු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එම අදහස් පළ කළේ ඊයේ (24) රාජගිරියේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකා ජාතික මහ සභාව සංවිධාන කොට තිබූ එම මාධ්‍ය හමුවේදී අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවැසූහ.

කාබනික පොහොර භාවිත කොට බෝග වගාවට ගොවීන් විශාල පිරිසක් පුහුණු කළා. ඔවුන්ට කාබනික පොහොර භාවිත කරන්න මුදල් දීමට කැබිනට් පත්‍රිකාවක්ද සම්මත කළා. ඒත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් රජයෙන් දෙන රසායනික පොහොර ගන්න එම ගොවීන්ට සිදු වෙලා.

දැන් සේනා දළඹුවෙක් ගැන සමාජයේ අවධානය යොමු වෙලා. කෘෂිකර්ම ඇමැති පාර්ලිමේන්තුවේදී පැවැසූ පරිදි බඩඉරිඟු වගාවෙන් 20%ක තමයි මේ හානිය පැතිරිලා තියෙන්නේ. සේනා දළඹු ප්‍රශ්නයට ඉන්දියාව පවා උත්තර සෙව්වා. ඒත් රසායනික කෘමිනාශකවලින් මර්දනය කිරීමට නොහැකි වුණා. මේ රටෙත් දේශපාලනඥයෝ සේනා දළඹු ප්‍රශ්නය ගැන ලාභදායී ප්‍රකාශ කරනවා විතරයි. විද්‍යාඥයෝ සමඟ සාකච්ඡා කරන්නේ නැහැ.

කොහොඹ ඇට උග්‍ර කෘමි විකර්ෂකයක්. අක්කරයක දළඹු උවදුර නැති කරන්න කොහොඹ ඇට කිලෝ 5 – 10 යොදා ගත හැකියි. ඒ සඳහා තාක්‍ෂණය, යන්ත්‍ර තිබෙනවා. මේ රටේ බඩඉරිඟු වගාව වැඩි වශයෙන් පටන් ගත්තේ මීට වසර 8කට පෙරයි. එම බඩඉරිඟු අස්වැන්නේ 80%ක්ම දින 45 කුකුළන්ට දෙනවා. එහෙම දීලා අපි කුකුළු මස් කනවා. අද ඇති වී තිබෙන්නේ ආහාර සංස්කෘතියේ අර්බුදයක්.

කුකුළන්ට ඇන්ටිබයිටික් යොදා ගන්නවා. මේවා මිනිස් ජීවිතවල තරබාරුකමටත්, රෝග රැසකටත් මුලයි. ව්‍යාපාරිකයන්ගේ මේ ආහාර සංස්කෘතියට අපි බිලි විය යුතු නැහැ.

තිරිඟු පිටිවලින් තමයි ත්‍රිපෝෂ හදන්නේ. මේ බීජ, රසායන ද්‍රව්‍ය, පොහොර ආදිය සියල්ල පිටරටින් ගෙන්වනවා. මේවගෙන් හදන ත්‍රිපෝෂ දරුවන්ට දෙනවාද නැද්ද කියලා මවුපියන් තීරණය කළ යුතුයි. කෘමි උවදුරුවලින් මිදෙන්න ඒකබෝග වගාවෙන් අෑත් වී බහු බෝග වගාවට යොමු වීමේ අවශ්‍යතාවක් පවතිනවා. එවැනි පරිසර හිතකාමි ක්‍රමවලින් තමයි කෘෂිකර්මය කළ යුත්තේ. එහෙම නැතිව සේනා වැනි උවදුරු හමුවේ ජලය, පස, වාතය, විනාශ වෙන්න කෘමි නාශක යොදලා මේ ප්‍රශ්නවලට විසඳුම් සොයලා වැඩක් නැහැ.

-මව්බිම-

RSL

Related Posts